ශ්‍රී ලාංකික සහ ලොව වටා වෙසෙන සියලුම දමිළ ජනතාව වෙත සෞභාග්‍යය පිරී ඉතිරී යන සුබ තෛපොංගල් දිනයක් මම ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලංකාව යනු විවිධ ජාතින් එකමුතුව, සහයෝගයෙන් ජීවත්වන සාමකාමී රටක්. ඒ සෑම ජාතියකටම ඔවුනොවුන්ට ආවේනික වූ වර්ණවත් සංස්කෘතිකාංග රැසක් ඇති අතර ඒ වර්ණවත් සංස්කෘතිකාංග ශ්‍රී ලංකා මාතාව විචිත්‍රවත් කිරීමට සමත් වන බව මම විශ්වාස කරමි. දමිළ ජනතාව සමරන තෛපොංගල් දිනය ද එවන් වූ විචිත්‍රවත් උත්සවයකි.
අප සියලු දෙනාටම සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් ලෙස මේ උත්සවය හැඳින්විය හැක. ජාතීන් අතර ඇති දුරස් බව අවම කැරගැනීමට මෙන්ම ඔවුන් අතර ඇති සහජීවනය වර්ධනය කරගැනීමට ද තෛපොංගල් වැනි වර්ණවත් උත්සව මනා පිටිවහලකි.
කෘෂිකර්මාන්තය හා බැඳුනු මේ උත්සවය තුළින් එළඹෙන වසරේ හොඳ අස්වැන්නක් හා යහපත් බලාපොරොත්තු වෙනුවෙන් අඛණ්ඩ ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදු කරයි. කෘෂිකර්මාන්තයේ යෙදී සිටින සියල්ලන්ම ජාති භේදයකින් තොරව ගෞරවයෙන් සිහිපත් කරන අතර, ඔවුන්ගේ කැපවීමට ද මම ස්තුති කරමි. අපගේ රජය ගොවියන් උදෙසා සහන රැසක් ලබාදුන් අතර, ඉදිරියටත් කෘෂිකර්මාන්තය හා බැඳුනු පවුල් වෙනුවෙන් පෙනී සිටින බවට මම වගකියමි. අපගේ රජයේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ සහලින් ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් ඇති කිරීමයි.
උදා වූ නව වසරේදී නවතා තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කැර අපගේ නව රජය සියලු අභියෝගවලට මුහුණ දී ශ්‍රී ලංකාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් බව මම විශ්වාස කරමි.
ශ්‍රී ලාංකික සහ ලොව වටා වෙසෙන සියලුම දමිළ හින්දු බැතිමතුන් වෙත සෞභාග්‍යමත් සුබ තෛපොංගල් දිනයක් මම ප්‍රාර්ථනා කරමි.