සැමට අධ්‍යාපනය නිදහසේ භුක්ති විදීමට අවකාශ ලැබී ඇති ලංකාව තුළ මෑත වර්ෂ වල දී විශාල වශයෙන් විවිධ නියෝජිත ආයතනයන් හරහා ගම්මට්ටමේ සිටින දරුවන්ට පවා විදේශ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීම සඳහා විවිධ යෝජනාවන්, විවිධ වාණිජ උපක්‍රම භාවිතා කරමින් කටයුතු කරමින් සිටින බවත්, එකී ආයතන මඟින් මෙරට විශ්වවිද්‍යාල තුළට ඇතුළත් වීමෙන් යම් යම් අපහසුතාවයන් ඇති වීම හා පෞද්ගලික විශ්වවිද්‍යාලයන් ඇති කිරීමට මෙරට රජය විසින් කටයුතු නොකරන බව යන මතයන් සමාජය තුළ ඇති කිරීම නිසා දරුවන් විශාල වශයෙන් මෙවැනි ආයතන හරහා විදේශයන් හි අධ්‍යාපනය ලැබීමට යාම දක්නට ලැබෙන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (15) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගත වන සිසුන් පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමක දී කියා සිටියේය.
ඒ නිසා රටින් පිටට විශාල වශයෙන් විදේශ විනිමයක් ගලාගෙන යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය
ඇති හැකි දෙමාපියන්ගේ දරුවන් පිටරට වල රැකියා වලට ගොස් අධ්‍යාපනය ලබා නැවත මෙරටට නොපැමිණිම බරපතල ඛේදවාචකයක් වී බවත් කී අමාත්‍යවරයා මෙරට වටිනා මානව සම්පත මෙරට තුළ දී ම රැක ගැනීම සඳහා අලුත් විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් යෝජනා කර ඇති බවත් පැවසුවේය.
ඒ අනුව, තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස නියෝජිත ආයතන අධීක්ෂණය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කර උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරි සතියේ දී නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ද අමත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය.