එම දෙපාර්තමේන්තුවේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ නඳුන් ගුරුගේ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් යවා වැට් බදු නොගෙවන ව්‍යාපාරිකයින් ගැන සමීක්ෂණයක් පවත්වා ගෙන යන බවත් පසුව එම ව්‍යාපාරිකයින් ගෙන්වා වැට් බදු සහනය පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස ඔවුන්ට දැනුම්දෙන අතර එසේ නොකරන අයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් කීය.
එකතු කළ අගය මත බද්ද (VAT) 2019 දෙසැම්බර් 31 දා සිට 15% සිට 8% දක්වා අඩු කොට ඇත. එසේම එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි විය යුතු පිරිවැටුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 300 දක්වා ඉහළ දමා තිබේ. මේ නිසා මෙතෙක් වැට් බදු ගෙවූ ව්‍යාපාරිකයින් විශාල සංඛ්‍යාවක් බදු සීමාව ඉහළ දැමීම නිසා එම බද්දෙන් නිදහස් කොට ඔවුන්ගේ බදු ලිපිගොනුද අක්‍රීය කර ඇත. වැට් බද්දෙන් නිදහස් කළ ව්‍යාපාරිකයන්ගේ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා තිබේ. වැට් බද්දෙන් නිදහස් කොට ඇති ව්‍යාපාරිකයන්ගෙන් වැට් බදු අය කිරීම නීති විරෝධී බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා කීය.
උපයන විට ගෙවීමේ බදු සීමාව රුපියල් 250,000 දක්වා ඉහළ දැමීම නිසා එම බදු ගෙවූ විශාල පිරිසකට විශාල සහනයක් ලැබී තිබේ. මේ නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබූ උපයන විට ගෙවීමේ බදු ලිපි ගොනු 664,000 ක් අක්‍රීය කොට ඇති අතර මසකට රුපියල් 250,000 ට වැඩියෙන් ආදායම් ලබන අය වෙනුවෙන් ආදායම් බදු ලිපි ගොනු අලුතින් අරඹන බවද ඒ මහතා පැවසීය.
පසුගිය වසරේදී ආදායම් බදු ලිපිගොනු 12000 ක් අලුතින් විවෘත කොට ඇති බවත් බදු ගෙවීම් පැහැර හැර ඇති 434 දෙනෙකුට මේ වන විට අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් කී නදුන් ගුරුගේ මහතා ඊ පේමන්ට් ක්‍රමය මගින් බදු ගෙවන්නන්ට ක්‍රෙඩිට් කාඩ් (ණය පත්) වලින් බදු ගෙවීමට ඉදිරියේදී අවස්ථාව සලසා දීමට දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් වන ඊ ෂෙල්ටන් ද සොයිසා සහ එච්.එම්.ඩබ්ලිව්.සී බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.