මාතලේ නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ පැවති 2020 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුදරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
අතිගරු ජනාධිපතිතුමන් විසින් සිය සොභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ජාතික ආරක්ෂාවට මෙන්ම අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබාදීම අවධාරණය කර ඇති බවත්, වැලිපිල්ලෙන්, ගල්ලෑල්ලටත්, ගල්ලෑල්ලෙන් පොතටත් වෙනස් වූ අපේ දරුවන්ගේ අධ්‍යාපන රටාවත්, එහි වපසරියත් අපේ ළමා කාලය ගත වූ 20 වැනි සියවසට වඩා ඔවුන්ගේ ළමා කාලය ගතකරන 21 වැනි සියවසෙහි සමාජයීය වෙනසත් හඳුනාගනිමින්, දරුවන්ගේ ඇසින් අධ්‍යාපනය දැකීමට අප සමත්විය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
පසුගිය කාලවකවානුව තුළ ජාතික පාසල් සංවර්ධනය කිරීම, නව ජාතික පාසල් ඉදිවීම ආදියේ දී සිදුව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා බිහි වූ දිස්ත්‍රික්කයට, ජනාධිපතිවරයා බිහිවූ දිස්ත්‍රික්කට ප්‍රමුඛතාව ලබාදීම බවත්, ඒ අනුව කටයුතු කරනවා නම් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට සිදුවන්නේ ද මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සංවර්ධනය කිරීමට බවත් විය යුත්තේ එය නොව, සැබෑ සංවර්ධන අවශ්‍යතා හඳුනාගනිමින් රටේ ම දරුවන්ගේ යහපත වෙනුවෙන් පාසල් සංවර්ධනය කිරීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ ය. ලංකාවේ ජාතික පාසල් 373ක් දැනට පවතින බවත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330ක් පවතින බවත්, එහෙත් එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 124ක එකම ජාතික පාසලක් හෝ නොමැති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ තත්වය ඉදිරියේ දී වහාම වෙනස් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය. ඒ අනුව, ඉදිරි මාස තුන ඇතුළත ලංකාවේ මෙතෙක් එකම ජාතික පාසලක්වත් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලෙහි ජාතික පාසල් 124ක් පිහිටුවීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය නුගගොල්ල ධර්මප්‍රදීප විද්‍යාලයේ පැවැත්වීමට තමා තීරණය කළේ, අසමතුන් කිසිවෙක් එම පාසලේ නොමැතිබවට ලැබුණු සුබ පණිවුඩය කෙරෙහි අවධානය යොමුකරමින් බව ද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා සිය කතාව ආරම්භයේ දී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක යෝෂිත කේෂාන්, සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකා විහංගා අභිෂේක් දරුදැරියන් සම්බන්ධයෙන් ද සිහිපත් කිරීම පැමිණ සිටි පිරිසගේ ප්‍රසාදයට ලක්විය. ලෝකයේ බොහෝ දියුණු රටවල ඉහළ ශ්‍රේණිවලට යනතුරු දරුවන්ට විභාග නොපවත්වන බව ද, පාසල පැවැත්වීම වාර දෙකක් ලෙස සිදුවන බව ද එවැනි සංවර්ධන ප්‍රයත්න වෙත අප ඉදිරියේ දී යොමුවිය යුතුව පවතින බව ද තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.