පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපන් රැකියා නියෝජිතයින් දැනුවත් කරයි

    ජනවාරි 24, 2020

    ජපානයේ OTIT (Organization of Technical Intern) තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා පුහුණු ලාභීන් යොමු කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී අවසරය ලබාගෙන ඇති රැකියා නියෝජිත ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් 22 දින කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ජපානයේ කම්කරු අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගි වූ නියෝජ්‍ය උපදේශක (කවුන්සලර්) යොෂු අරින්ගා මහතා විසින් මෙම වැඩසටහන මෙහෙය වන ලදී.

    මෙහිදී දේශීය රැකියා නියෝජිතයින් විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදය හා පිළිපැදිය යුතු නීති රීති පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, එම ක්‍රමවේද හා නීති රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන අයගේ ජපානයේ රැකියා සඳහා අදාළ අනුමැතිය අවලංගු කරන බවටද ප්‍රකාශ කළේය.

    බඳවා ගනු ලබන තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභී ශ්‍රමිකයින් අදාළ රැකියාවට ගැලපෙන පුද්ගලයින් විය යුතු බව අරින්ගා මහතා ප්‍රකාශ කළ අතර, සේවා ස්ථානයෙන් පැන යන ශ්‍රමිකයින් හේතුවෙන් මෙම වැඩසටහනෙහි අඛණ්ඩ පැවැත්මට බලපෑම් සිදුවන බවද සඳහන් කළේය.

    ජපානයට පුහුණු ලාභීන් යොමුකරන වෙනත් රටවල් හා සැසඳීමේදී ශ්‍රි ලංකා පුහුණු ලාභීන් පිළිබඳව ජපන් රජය සතුටුදායක අයුරින් තෘප්තිමත් වී ඇති අතර ඒ හේතුවෙන් විශේෂිත පුහුණු ශ්‍රමික (Specialized Skill Worker) වැඩසටහන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව පුහුණුව ලබන පළමු වසර 3 අවසන් වීමෙන් පසුව විභාගයකට යොමුකර ඉන් සමත් නම් තවත් වසර 5ක් ලෙස වසර 8ක කාලයක් ජපානයේ සේවය කිරීමට අවස්ථාව සලසා දෙයි.

    ජපානයේ සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලොව පුරා රටවල්වල මෙම සේවාස්ථ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, මේ යටතේ දැනටමත් ලාංකිකයින් 500 ට අධික පිරිසක් ජපානයේ සේවාස්ථ පුහුණුව ලබමින් වෘත්තියන්හි නියැලෙයි.

    සාත්තු සේවිකා, කෘෂිකාර්මික, ආහාර නිශ්පාදන, ඉදිකිරීම් හා නිශ්පාදන යන ක්ෂේත්‍රවල වැඩි වශයෙන් පුහුණු අවස්ථාවන් උදා වී තිබේ. ජපානයේ පුහුණුව ලබන පුහුණු ලාභීන් සඳහා සෞඛ්‍ය රක්ෂණයක් නොමිලේ හිමිවන අතර, විශ්‍රාම වැටුපකටද උරුමකම් කීමට හැකියාව ලැබේ.

    මෙම වැඩසටහන ජපානය හා ශ්‍රි ලංකාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව ක්‍රියාත්මක වන අතර, ජපානයේ සේවාස්ථ පුහුණව සඳහා පුහුණු ලාභීන් යොමු කිරීමට රැකියා නියෝජිත ආයතන 63ක් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා සිටිති.

    මෙම අවස්ථාව සඳහා කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී.වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු, බඳවාගැනීම් හා අලෙවිකරණ) මංගල රන්දෙණිය යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya