මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    කාර්යාලීය සේවකයින්ට සෞඛ්‍ය සම්පන්න වැඩබිමක් ඇති කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයෙන් නවමු සංකල්පයක්

    ජනවාරි 30, 2020

    රජයේ සහ පෞද්ගලික කාර්යාලවල සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් බෝනොවන රෝගවලින් ආරක්ෂා කර ගැනීමට හා බෝනොවන රෝග වලට අදලා පරීක්ෂණ කටයුතු කාර්යාලය තුලම සිදු කිරීම ගැනීමට කාර්යාල තුළ ස්ථාපිත කළ හැකි සෞඛ්‍ය පරීක්ෂණ ඒකකයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය හදුන්වා දෙයි.

    මෙම හදුන්වාදීමේ වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr Razia Pendse) මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු විය.

    බෝනොවන රෝග අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ හෘද රෝග, අධිරුධිර පීඩනය, දියවැඩියාව, අක්මා ආශ්‍රිත රෝග සහ පිළිකා රෝග වේ. අප රට තුල සිදුවන මරණ වලින් සියයට 83 ක් පමණ බෝනොවන රෝග නිසා සිදු වේ. වසරකට 20,000 ක් පමණ මේ හේතුවෙන් ජිවිතක්ෂයට පත් වේ. වයස අවුරුදු 18ත් 69 අතර සෑම ශ්‍රී ලාංකිකයින් 100 කගෙන් 73 ක් අවශ්‍ය තරම් එළවළු පළතුරු ආහාරයට නොගන්නා බවත්, පිරිමින්ගෙන් 25 ක්, ගැහුණු 34 ක් අධිබර තත්ත්වයේ, පිරිමි 24 ක් ගැහුණු 28 ක් අධික කොලෙස්ටරෝල් මට්ටමේ, 26 කට අධිරුධීර පීඩනය, 07 කට දියවැඩියාව, 35 ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙන්වා දෙයි.

    කාර්යාල තුල ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක ඉතාම අවම වියදමකින් ස්ථාපනය කළ හැකි මෙම ඒකකය බෝ නොවන රෝග සදහා බලපාන සාධක තමාටම අධ්‍යනය සහ අධීක්ෂණය කරගත හැකි සහ බෝනොවන රෝග වලින් වැළැකීම සදහා තොරතුරු හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබද තොරතුරු ලබාගත හැකි ඒකකයක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ අරමුණ වන්නේ කාර්යාලිය සේවකයින්ට සෞඛ්‍ය සම්පන්න වැඩබිමක් මේ තුලින් සැපයීමයි.

    මෙමගින් සෞඛ්‍යමත් ජීවන රටාවත් පවත්වාගෙන යාම පිළිබද අධ්‍යාපනික සාධක ද සපයනු ලබන අතර, ප්‍රධාන වශයෙන් රුධිර පීඩනය (ස්වයං පරීක්ෂාවට උපදෙස්, පරීක්ෂණයේ ප්‍රතිඵල ස්වයංව කියවීමේ හැකියාව, ඉදිරි සේවා පිළිබද මාර්ගෝපදේශණ), රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාව, ශරීරයේ සංයුතිය පිළිබද ස්වයං අධ්‍යයනය (ස්කන්ද දේහ දර්ශකය, මේදය, මාංශපේශී ප්‍රමාණය, ස්වයං පරික්ෂාවට උපදෙස්, ප්‍රතිඵලය ස්වයංව කියවීමට උපදෙස්) ලබාදෙනු ලබයි. බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීම සදහා සෞඛ්‍යමත්, කැලරි ප්‍රමාණය අඩු කෙටි ආහාර ලබාගැනීමේ වැදගත්කම, ව්‍යායාම් හා ක්‍රියාකාරකම්, සෞඛ්‍යමත් කාර්යාලීය හමු ප්‍රවර්ධනය, හා යහපත් දිවිපැවැත්මට අදාල උපදෙස්, සෞඛ්‍යට හිතකර කාර්යාලීය වටපිටාවක් සැකසීම පිළීබදව ද මෙහිදී උපදෙස් ලබාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය කාර්යාලය පෙන්වා දෙයි.

    සෞඛ්‍යමත් වැඩබිමකින් සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ ලෙස බෝනොවන රෝග සදහා ඇති අවධානම අඩුවීම, බෝනොවන රෝග පාලනය, අකල් මරණ වලින් ආරක්ෂාව, මානසික තත්ත්වය යහපත්වීම, රැකියාව පිළිබද තෘප්තිය වැඩිවීමත්, සේවා ස්ථානවලට ලැබෙන ප්‍රතිලාභ ලෙස රෝග තත්ත්ව නිසා සේවයට නොපැමිණීම අවම වීම, ඵලදායිතාව වැඩිවීම, ප්‍රතිරූපය වර්ධනයවීම, ආයෝජනයේ ධනාත්මක ප්‍රතිලාභ වැඩිවීම සිදු වන බවත්, රටට තිරසාර සංවර්ධන ඉළක්ක ජයගත හැකිවීම, සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් වන වියදම අඩුවීම බවත් පෙන්වා දෙන අතර, මෙම ඒකකය මගින් කාර්යාල සේවකයින් ඇතුලු පවුලේ සාමාජිකයින්ට, කාර්යාලවලට පැමිණෙන අමුත්තන්ට ද සේවා සපයා ගත හැකි බවත් ආයතනවලින් පිටත ක්‍රියාකාරකම් සදහා ද ගෙනයා හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය කාර්යාලය පෙන්වා දෙයි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය රුධීර පීඩනය එම ඒකකයෙන් පරීක්ෂා කර ගැනීම විශේෂත්වයක් වූ අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබද දැනුවත් කිරිම වෙනුවෙන් සකස් කර තිබූ ප්‍රදර්ශණ කුටි තුල වූ ආහාරවල තත්ත්වය පරීක්ෂා කිරීම ද සිදු විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr Razia Pendse) මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ඇතුලු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මහත්ම මහත්මීන් සහභාගි විය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya