මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වෛරසය ගැන රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ලිහිල් නොකරන බව සෞඛ්‍ය ඇමතිනිය කියයි

    පෙබරවාරි 03, 2020

    කොරෝනා වෛරස් රෝගය රට පුරා පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කොට ආරක්ෂක වැඩපිළිවෙළ ලිහිල් නොකොට තවත් මාසයක් පමණ එසේම පවත්වාගෙන යෑමට අදහස් කොට ඇතැයි සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.


    ශ්‍රි ලංකාවේ කොරෝනා වෛරසය පිළිබ‍‍දව නවතම තත්ත්වය පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (03) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ සෞඛ්‍ය ඇමතිනිය කොරෝනා වෛරසය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කළ දැනුවත් කිරීම් නිසා ජනතාව තුළ එම රෝගය ගැන පැවති දුර්මත පහවී ගොස් ඇති බවත් ඔවුන් තුළ මෙම රෝගය ගැන බියක් නැති බවත් කීවාය.

    පවිත්‍රාදේවී වන්නිආරච්චි ඇමැතිනිය මෙසේද පැවැසුවාය. 

    සියලු දෙනාගේ ක්‍රියාකාරිත්වය මත කොරෝනා වෛරස් රෝග පාලනය සඳහා සියලු කටයුතු නිසි සේ සිදු වෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ සඳහා ජාතික ක්‍රියාකාරි කමිටුවක් පත් කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කොට තිබෙනවා. මේ රටට එන යන රෝගීන් පිළිබඳ සහ ඔවුන් ඕනෑම අවස්ථාවකදී රටේ මේ මොහොතේ රැඳී සිටින ඉසව්ව ක්ෂණිකව සොයා ගැනීමේ හැකියාව ඇති වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. දැන් පලාලි ගුවන් තොටුපළේද ශරීරයේ උෂ්ණත්වය මනින උපකරණ සවි කර තිබෙනවා.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිනිය තමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මහා සභාවට යාමට අවස්ථාව තිබියදීත් රටේ පවතින තත්ත්වය නිසා එයට සහභාගී නොවූ බවත් එහි උප සභාපති ධූරය තමාට මෙවර හිමි විය යුතුව තිබෙන බවත් කීවාය.

    එහෙත් තමා ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහි යැවූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරය ඔහුට හිමි වනු ඇති බවත් පැවසූ ඇමැතිනිය එය ශ්‍රී ලංකාවට ගෞරවයක් බවත් සඳහන් කළාය.
    මෙම මාධ්‍ය හමුවට එක්වූ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වෛයිරස් රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ඖෂධීය ප්‍රතිකාර සොයා ගැනීම දුෂ්කර බවත් කොරෝනා වෛරසය තවම මාස 2ක් පමණ වන වෛරසයක් නිසා ලෝකයේ රටවල් ඒ ගැන තවමත් අධ්‍යයනය කරමින් සිටිව බවත් පැවැසීය.
    කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කාන්තාව දැන් සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටින බවත් සැක කටයුතු තවත් රෝගීන් රෝහල් කිහිපයකම සිටින නමුත් ඔවුන්ට 99% ක්ම රෝගය ආසාදනය වී නොමැති බවත් ඒ මහතා තව දුරටත් කීය. වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya