72 වැනි නිදහස් දිනය සමරන මේ අවස්ථාවේදී දේශපාලන පක්ෂ භේද අමතක කොට නිදහසේ නිසි ඵල නෙළාගත යුතුයි
පිටිසර ගම්දනව්වල වාසය කරන අහිංසකයන්ගේ දිළිඳු බව තුරන් කොට ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමට අනලස්ව ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇති බවත් 72 වැනි නිදහස්
දිනය සමරන මේ අවස්ථාවේදී දේශපාලන පක්ෂ භේද අමතක කොට නිදහසේ නිසි ඵල නෙළාගත යුතු බවත් අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමිපාණන් වහන්සේ
නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියහ.
එම පණිවිඩයේ මෙසේද දැක්වේ.
වර්ෂ 1815 මාර්තු 02 වන දින ඓතිහාසික මඟුල් මඩුවේ දී අත්සන් තබන ලද උඩරට ගිවිසුම තුළින් නිදහස් ස්වෛරී රාජ්‍යයක්ව පැවති ශ්‍රී ලංකාව ඉංග්‍රීසීහු ස්වකීය අධිරාජ්‍යයේ යටත්විජිතයක්
බවට පත්කරගත්හ. වැඩිකල් නොගොස්ම ඉංග්‍රීසීන්ගේ උගුලට හසුව තම ස්වාධිපත්‍යය සම්පූර්ණයෙන්ම වාගේ අහිමි වී ගිය බව අවබෝධ කරගත් බොහෝ ගිහි පැවිදි ජාතික වීරයෝ ජීවිත
පූජාවෙන් නිදහස පතා සටන්බිමට අවතීර්ණ වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1948 පෙබරවාරි මස 04 වන දින නිදහස දිනා ගැනීමට හැකිවිය.
එතැන් සිට මේ වන විට ශ්‍රී ලංකාව නිදහස දිනා වසර 72ක් ගත වී ඇති නමුත් දිනාගත් නිදහස ජාතික, සාමාජික, අධ්‍යාපනික හා ආගමික වශයෙන් වඩාත් අර්ථවත් කර ගැනීමට අපොහොසත් වී
සිටිමු. ඉංග්‍රිසි පාලකයන්ගෙන් නිදහස දිනාගත් සමකාලීන බොහෝ රටවල් දියුණුවේ හිණිපෙත්තට නැඟී ඇති නමුත් අප රටට ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකර ගැනීමට
අසමත්වීම බලවත් කනගාටුවට කරුණකි.
ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය සමරන මේ අවස්ථාවේ දී දේශාපලන පක්ෂ භේද අමතකකොට නිදහසේ නිසි ඵල නෙළාගෙන දේශමාමකත්වයෙන් හා යහගුණයෙන් සුපෝෂණය වූ සමෘද්ධිය
හා සෞභාග්‍යය සපිරි රටක් ඇතිකර ගැනීමට ක්‍රියාකිරීමට ලක්වාසී සැම සියලු දෙනාටම අවශ්‍ය ශක්තිය ත්‍රිවිධරත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබේවායි ආශිංසනය කරමි.
මේ මොහොතේ ආර්ථික අධ්‍යාපනික සංස්කෘතික හා ආධ්‍යාත්මික දියුණුවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් සඳහා මුල පුරනු ඇත
අතිපූජ්‍ය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පෙමසිරි හිමි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහි වූ නව රජය 72 වැනි නිදහස් දින සමරුව එළඹි මේ මොහොතේ ආර්ථික අධ්‍යාපනික
සංස්කෘතික හා ආධ්‍යාත්මික දියුණුවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් සඳහා මුල පුරනු ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පෙමසිරි හිමිපාණෝ පවසති.
72 වැනි නිදහස් සමරුව නිමිති කොට නිකුත් කළ ආශිර්වාද නිවේදනයෙන් උන්වහන්සේ මෙසේද පවසති.
අපගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාව ශතවර්ෂ කීපයක්ම යුරෝපීය යටත් විජිතයක්ව පැවැතිව නිදහස ලබා ස්වාධීන දේශයක්ව වසර 72ක් ගතව ඇතත් යටත් විජිතව සිට නිදහස ලැබූ ලොව සෙසු
රටවල් හා සැසඳීමේදී අපේ රට තෘප්තිමත් විය හැකි තරමේ දියුණුවක් ලබා නැති බව අවිවාදයෙන් කවුරුත් පිළිගනිති.
මේ දශක තුළ නිදහසින් පසු අප ලද ප්‍රගතිය ගැන සෑහෙන තරමකින් අපට සතුටුවිය හැකි අවස්ථාවකට දැන් අප පැමිණ ඇත.-අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි
ජාතික හා ආගමික වශයෙන් හැදියාව හා අධිෂ්ඨානය දියුණු කර ගනිමින් 72 වැනි නිදහස් දිනයේදී සාමය සහ සමෘද්ධිය කරා යාමට අදිටන් කරගත යුතු බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
මහානායක කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ අවධාරණය කරති.
රජයේ මාර්ගෝපදේශය සහිතව සාමය හා සමෘද්ධිය කරා යායුතු බව කී උන්වහන්සේ නිදහස් දින පණිවිඩයේ මෙසේද සඳහන්.
ශතවර්ෂ තුනකටත් වඩා එහාගිය යටත් විජිත යුග තුනක් ගෙවා එක්දාස් නවසිය හතළිස් අටේ පෙබරවාරි හතරවැනි දින නිදහස ලද ශ්‍රී ලංකාද්වීපය දැන් මේ ගත කරනු ලබන්නේ අදින් ආරම්භ
වන හැත්තෑදෙවැනි වසරය. මේ දශක තුළ නිදහසින් පසු අප ලද ප්‍රගතිය ගැන සෑහෙන තරමකින් අපට සතුටුවිය හැකි අවස්ථාවකට දැන් අප පැමිණ ඇත.
කවදාටත් වඩා විමසිලිමත් වෙමින් අසමඟියට තුඩුදෙන සියලු බලවේග මුලිනුපුටා දැමිය යුතුයි -අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
නිදහසට එල්ලවී ඇති නව අභියෝග පිළිබඳව කවදාටත් වඩා විමසිලිමත් වෙමින් අසමඟියට තුඩුදෙන සියලු බලවේග මුලිනුපුටා දැමිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ කොළඹ අගරදගුරු
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ 72 වැනි නිදහස් සමරුව නිමිති කොටගෙන නිවේදනයක් නිකුත් කරමින් පවසති.
සියලු ජනකොටස් අතර ගෞරවය සහ ඉවසීම ප්‍රගුණ කළ යුතු බව උන්වහන්සේගේ සිය නිවේදනයේ සඳහන් කරයි.
අප දේශය දේශපාලනික වශයෙන් නිදහස ලබා වසර 72ක් සපිරෙන මේ උතුම් අවස්ථාව අළලා මාගේ ශුභාශිංසන පණිවිඩය එවන්නේ හදපිරි සතුටිනි. මෙවැනි සැමරුමකදී නිතැතින්ම අප සිතට
නැඟෙන්නේ නිදහස් සටනට නායකත්වය සැපයූ ජාතික වීරයන්ය. රට දැය සමය වෙනුවෙන් අපමණ කැපකිරීම් කරමින් මවුබිමේ ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය උදෙසා ඔවුන් ක්‍රියා කළේ
ජාති, ආගම්, කුල, පක්ෂ, පාට භේද නොතකා එකා මෙන් එකට එකමුතුව බව මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.