පසුගිය නොවැම්බර් මාසයේ පැවැත්වනු ජනාධිපතිවරණයේ ප්‍රතිපලයෙන් අපිට පෙනුනේ ලැබූ නිදහස රැක ගැනීමට රටේ ජනතාව තුළ ඇති වූ අධිෂ්ඨානය බවද අගමැතිවරයා සඳහන් කරයි.
එම පණිවිඩයේ මෙසේද සඳහන්ය.
අපි අද ශ්‍රි ලංකාවේ 72වෙනි නිදහස් දිනය සමරන්නේමු. 1948 පෙබරවාරි මස 04 දින අප ලැබූ ඒ නිදහස බරපතල ආකාරයට අභියෝගයට ලක් වූ සමයක් අපි පසුගිය වසර කීපයේ දී අත්දුටුවෙමු. අපි ඒ අද්දැකීම්වලින් ඉගෙනගත් පාඩම වන්නේ නිදහස ලබා ගැනීමත්, ඒ නිදහස රැකගැනීමත් යනු වෙන් වෙන්ව ගත යුතු කරුණු දෙකක් බවය. 1948 දී නීතිමය වශයෙන් ලැබුණු නිදහස 2015 දී වැරදි දේශපාලනයෙන් නැතිවීමේ අවදානමකට අපි මුහුණ දුන්නෙමු.
නිදහස ලැබීමෙන් පසු ගතවූ අවුරුදු 72 දෙස ආපසු හැරී බලන විට අපිට සතුටු විය හැකි කරුණු ගනණාවකුත් ඇත. විටින් විට මතු වූ බරපතළ අභියෝග මධ්‍යයේ වූවත් සර්වජන ඡන්දය මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මේ රටේ සුරැකී ඇත. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය, සාක්ෂරතාව වැනි කරුණුවල දී අපි වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටිමු. මේ රටේ නිදහස් මාධ්‍යයක් ඇත. අපේ පුරවැසියන්ට තමන්ගේ පෞද්ගලික සුරක්ෂිතතාව පිළිබඳ විශ්වාසයක් ඇතුව ජීවත් විය හැක. අප 2006 - 2014 කාල පරිච්ඡේදයේ ආර්ථික වශයෙන් ද විශාල ඉදිරි පිම්මක් සාක්ශාත් කර ගත්තෙමු.
අද අපි ඉදිරියේ ඇත්තේ දේශපාලනය නිසා අඩාල වුණු ඒ ආර්ථික ප්‍රගතිය නැවත රටට ලබාදීමේ අභියෝගයයි. අපි අද අලුත් ආණ්ඩුවක් සමඟ අලුත් දශකයක පළමු නිදහස් දිනය සමරන්නෙමු.
ජනතාවට විශේෂයෙන් ම තරුණ පරපුර අතර අද ඇති වී තිබෙන රට ගොඩනැගීමේ උද්යෝගය හේතුකොටගෙන ශ්‍රී ලංකාව නැවතත් ස්වර්ණමය යුගයක එළිපත්තේ සිටින බව මට මේ නිදහස් දිනයේ දී සතුටින් ප්‍රකාශ කළ හැක. මේ රටේ සියලු ජනවාර්ගික කොටස්, සියලු ආගම්වලට අයත් ජනතාව එකාමෙන් රට ගොඩනැගීමේ මේ මහා ව්‍යාපෘතියට දායක වෙනු ඇතිය යන්න මාගේ විශ්වාසයි.