ජාතික විරුවන්ගේ රුධිරය මතින් දිනාගත් එකී දේශපාලන නිදහස පූර්ණ අර්ථවත් වනුයේ ආර්ථික වශයෙන්ද සාමාජික වශයෙන් ද අප නිදහස් වූ දිනකය
ජාතියක් වශයෙන් තමන්ගේ යුතුකම් සහ වගකීම් අවබෝධ කරගත්, සැබෑ නිදහසක සැබෑ අරුත නිසැකවම වටහාගනිමින්, පුද්ගල, සාමාජික සහ රටේ දියුණුව පතන යුගයක ඇරඹුමක් ප්‍රාර්ථනා කරන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
නිදහස් දින පණිවුඩය
ස්වභාවික සම්පත් අතින් පොහොසත් වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් ප්‍රචලිත අප මාතෘ භූමිය යටත් කර ගැනීම සඳහා විදේශිකයින් උත්සාහ ගත්තේ වරක් දෙවරක් නොවේ. පෘතුගීසීන් හා ලන්දේසීන් ඊට වෑයම් කළත් ඔවුන්ට කිරීමට නොහැකි වූ දේ ඉංග්‍රීසින් කළේ ජාතික සමගිය භේදබින්න කිරීම හේතුවෙනි. එම අධිරාජ්‍යවාදී යදම් බිඳ හෙළමින් ලාංකීය සමාජයට නිදහස දිනා දීමට දිවි හිමියෙන් කැප වූ සියලු දේශප්‍රේමීන්ට සැමදා ජාතියේ ප්‍රණාමය හිමි වේ. මාතෘ භූමියට නිදහස දිනා ගැනීම පිණිස ඌව වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවා බ්‍රිතාන්‍ය කිරීටය විසින් දේශද්‍රෝහීන් බවට පත් කළ ඌව වෙල්ලස්ස සටනේ විරුවන් දේශප්‍රේමීන් බවට මා පත් කළේ මාතෘභූමියේ නිදහස වෙනුවෙන් සටන් කළ සෑම පුද්ගලයෙක්ම උතුම් මිනිසකු ලෙස මා පිළිගන්නා බැවිනි.
ජාතික විරුවන්ගේ රුධිරය මතින් දිනාගත් එකී දේශපාලන නිදහස පූර්ණ අර්ථවත් වනුයේ ආර්ථික වශයෙන් ද සාමාජික වශයෙන් ද අප නිදහස් වූ දිනකය. අපට සමකාලීනව හා පසු කාලීනව නිදහස ලබාගත් ඇතැම් රටවල් අද ඉතා ඉහළ තත්ත්වයකට පත්ව ඇත්තේ ලැබූ නිදහස ප්‍රායෝගික කර ගැනීමෙන් ලබාගත් ආර්ථික හා සමාජීය නිදහස නිසාමය. ආර්ථික නිදහස කරා යන ගමන පිළිබඳව සැලකීමේදී අප පසුකරමින් සිටින්නේ තීරණාත්මක කාලවකවානුවක් බව කිව යුතුය.
සියලු ජාතීන් සමගිව නැගී සිටින විට රටට එරෙහි බලවේග පරාජය වී නිදහස තව තවත් ශක්‌තිමත් වේ. අප බෙදී වෙන් වූ කල්හි නොයෙක් සතුරු බලවේග ශක්‌තිමත් වී නිදහස අහිමි කරයි. 72 වන ජාතික නිදහස් දිනය සමරන අප ජාතික සමගිය පිළිබඳව ද තිර අදිටනින් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු වේ. ‘සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්’ තේමාව ඔස්සේ 72 වන ජාතික නිදහස් දිනය අභිමානවත්ව සැමරීම පිළිබඳව මම ඉතා සතුටට පත්වන අතර, ජාතියක් වශයෙන් තමන්ගේ යුතුකම් සහ වගකීම් අවබෝධ කරගත්, සැබෑ නිදහසක සැබෑ අරුත නිසැකවම වටහාගනිමින්, පුද්ගල, සාමාජික සහ රටේ දියුණුව පතන යුගයක ඇරඹුමක් ප්‍රාර්ථනා කරමි.
,,,,,,,,,,,,,,,,,,,,,,,,
ජාති, ආගම්, කුල, පංති භේදයකින් තොරව එකාවන්ව මවු බිමේ නිදහස වෙනුවෙන් කැප වූ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි
ජාති, ආගම්, කුල, පංති භේදයකින් තොරව එකාවන්ව මවු බිමේ නිදහස වෙනුවෙන් කැප වූ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිදහස් දිනට පණිවිඩයක් නිකුත්කරමින් මෙසේ පැවැසූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි. සියලු භේද අමතක කොට එකාවන්ව කළ සාමූහික අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1948 දී ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් නිදහස ලැබීය. වසර 72කට පෙර අපි ලද ඒ නිදහස අද දිනයේ ද අභිමානයෙන් සමරමු.
නිදහස ලබා ගැනීම උදෙසා වූ විවිධාකාර අරගලවල දී ජීවිතය කැප කළ විරුවන් මේ මොහොතේ මහත් වූ අභිමානයෙන් සහ ගෞරවාදරයෙන් සිහිපත් කළ යුතුය.
ඔවුන්ගේ ප්‍රාණ වායුව මේ රටේ උදාර ඉතිහාසයේ අනභිභවනීය සටහනකි.
ඉතිහාසය අපට කියාදෙන අපූර්වතම පණිවිඩය වන්නේ එක්ව සමඟියෙන් ඉදිරියට යෑමයි. එහෙත් දේශයක් ලෙස ලද ජයග්‍රහණ, ලැබූ පසුබෑම් මෙන් ම පරාජයන් ද ඉක්ම ගිය වසර 72 තුළ අපට අත්දැකීම් සපයයි.
ඉදිරිගාමී චින්තනයක් සහ අභිමානවත් ඉතිහාසයක් තිබූ රටක් ලෙස ලෝකයට පරමාදර්ශ සපයා ඇති ශ්‍රී ලංකාව අද වන විට දේශපාලන අවස්‍ථාවාදයේ ගොදුරු බිමක් බවට පත්ව තිබේ.
එනයින් ගත් කළ යටත්විජිතයකින් නිදහස් වීම හැරුණුකොට මෙරට ජනතාව ළඟා කරගත යුතු තවත් බොහෝ දෑ තිබේ.
ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ සිවිල් නිදහසින් සුරක්ෂිත සමෘද්ධිමත් දේශයක්, දේශපාලන පළිගැනීම්වලින් තොර, ලෝකයේ අභිමානයෙන් අත් එසවිය හැකි අදීන රටක් බිහි කිරීමේ අනවරත අරගලය තවමත් අවසන්ව නැත.
ඒ වෙනුවෙන් මොහොතක් පාසා කැපවීමේ උදාර අපේක්ෂාවන්ගේ සවිමත්, අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරමි.
,,,,,,,,,,,,,,,,,,
නිදහසින් පසු ත්‍රස්තවාදී උවදුර හමුවේ නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් ස්වකීය ජීවිත පුජා කළ විරුවන්ද මේ මොහොත ගෞරව බහුමානයෙන් යුතුව සිහි කිරිම අපගේ යුතුකමයි.
කථානායකතුමාගේ නිදහස් දින පණිවුඩය
නිදහස යනු මානවයා විසින් භුක්ති විදින ශ්‍රේෂ්ඨතම ආශ්වාදනිය හැඟීමකි. එම ශ්‍රේෂ්ඨ නිදහස උදෙසා සටන් වැදුණු වීරෝධාර මිනිසුන්ගේ අපමණ කැප කිරිම් තුළින් සැරසුණු ඉතිහාසයක් ශ්‍රී ලාංකික අපිට උරුමව තිබේ.
බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීම හැරුණුකොට ඉන් පෙර වසර දෙදහසකට අධික කාලයක් පුරා විවිධ පර සතුරු උවදුරු හමුවේ මාතෘභූමියේ නිවහල් බව වෙනුවෙන් සටන් වැදුණු විරුවන් සහ නිදහසින් පසු ත්‍රස්තවාදී උවදුර හමුවේ නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් ස්වකීය ජීවිත පුජා කළ විරුවන්ද මේ මොහොත ගෞරව බහුමානයෙන් යුතුව සිහි කිරිම අපගේ යුතුකමයි.
බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස දිනාගන්නා මෙහොතේ නිදහසේ පියා යන විරුධය ලත් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ශ්‍රීමතානන් නිදහසට දුන් වඩාත් පුළුල් අර්ථය අදටත් වලංගු වේ. එතුමන් සඳහන් කළේ බටහිර අධිරාජ්‍යවාදයෙන් මිදුණු නමුත් පුර්ණ නිදහසක් ලැබීමට නම් අප ජාතියක් ලෙස තවත් පංචවිධ නිදහසක් අත්පත් කර ගැනීම උදෙසා සටන් කළ යුතුව ඇති බවයි. එනම් මාතෘ භුමියේ සියළු ජාතීන් අතර “අසමගිකම්වලින් නිදහස, දරිද්‍රතාවයෙන් නිදහස, නූගත්කමින් නිදහස, ලෙඩ රෝගවලින් නිදහස, විරැකියාවෙන් නිදහස, යන්න එම පංචවිධ නිදහසයි. මෙම අභියෝග තවදුරටත් අප විසින් ධෛර්ය සම්පන්නව හඹා යා යුතුව තිබෙන බව වර්තමාන යථාර්ථයයි. ඒ සඳහා අතීත අත්දැකිම් ගුරුකොට ගනිමින් අඛණ්ඩ ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ සමස්ත ශ්‍රී ලාංකිකයන් එකම අධිෂ්ඨානයකට ගොනු වීම අවශ්‍ය වේ. එම අධිෂ්ඨානය වටා සමස්ත රට වැසියන් ගොනු කීරිමට නම් ජාතී, ආගම්, උස් මිටිකම්වලින් තොරව සියළුදෙනා කෙරෙහිම සමානාත්මතාවයත්, ආත්ම ගෞරවය සහිතව ජීවත් වීමේ අයිතියත් තහවුරු කළ යුතුය. 72 වන මෙම අභිමානවයත් නිදහස් සැමරුමේදී සියළු පුරවැසියන්ට හිමි එවන් ගෞරවනීය නිදහසකට වඩ වඩාත් සමීප වෙමු.
කරු ජයසුරිය
කථානායක