මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook

    දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක්- අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 11, 2020

    දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස්  අලහප්පෙරුම මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා කෑගල්ලේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

    මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින්, දැනට ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු පද්ධතියෙන් 70%ක පිරිසක් උපාධිධාරී නොවන ගුරුවරුන් බව ද, ප්‍රාථමික ගුරුවරුන්ගෙන් 25%ක් නුපුහුණු ගුරුවරුන් බව  ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ලෝකයේ දියුණු අධ්‍යාපනයක් සහිත කිසිදු රටක උපාධිධාරීන් නොවන කිසිදු ගුරුවරයෙක් නොමැති බවත්, 2027 වසර වනවිට මෙරට පාසල් පද්ධතිය  තුළ සිටින සියලු ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
    මේ සඳහා ලංකාවේ ගුරුවරුන් වැඩි ම පිරිසක් පාසල් පද්ධතියට බිහිකරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ම උපාධි ලබාදෙන ආයතන බවට උසස් කරන බව ද මේ වනවිටත් ඊට අදාළ කැබිනට්  තීන්දුව ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    එමෙන් ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට අවස්ථාව සලසා දීමේ දී ඉසෙඩ් ලකුණ තීරණය කිරීම දිස්ත්‍රික් පදනමින් සිදුකිරීම නිසා ගම්බද දුෂ්කර පාසල්වල දරුවන්ට අසාධාරණයක් සිදුවන  බවත්, මේ නිසා ඉදිරියේ දී දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමින් ඉසෙඩ් ලකුණ තීරණය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන් ම රටේ අධ්‍යාපනය දෙස  ඉසුරුපායේ සිට හෝ, විදුහල්පති සේවයේ සිට හෝ, අධ්‍යාපන පරිපාලන සේවයේ සිට හෝ පළාත් අධ්‍යාපන සේවයේ සිට හෝ බලනු වෙනුවට දරුවන්ගේ ඇසින් බැලිය යුතු බවත්, නීති  රෙගුලාසිවලට වඩා දරුවන්ට අවශ්‍ය වන්නේ නිවැරදි මගපෙන්වීම සමඟ ඉදිරියට යාමට ශක්තිය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    රටකට අධ්‍යාපන අමාත්‍යවරයෙක් සිටින්නේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට, ස්ථාන මාරු ලබාදීමට සහ ගුරු හා අනධ්‍ය්‍යන පත්වීම් ලබාදීමට යැයි බොහෝ දෙනා සිතා සිටින බවත්  එහෙත් එය නිවැරදි නොවන බවත්, රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමාගෙන් අපේක්ෂා කරන්නේ එය නොවන බවත්, රටේ සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් මානව සම්පත්  මෙරට පාසල් පද්ධතියෙන් බිහිකරලීම වෙනුවෙන් වන පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක පිහිටා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya