මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ලැබී තිබෙන අතර ඉතාමත් කඩිනමින් මෙම සුහුරු ප්‍රවේශ පත්‍රය හා ආසන වෙන් කිරීමේ පද්ධතිය හඳුන්වා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඊයේ (10) පස්වරුවේ රත්මලාන දුම්රිය අංගනයේ කටයුතු සොයා බැලීම සඳහා සහභාගි වෙමිනි.
දැනට දුම්රියේ ප්‍රවේශ පත් කල්තියා වෙන් කිරීමේ දී ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් දේශීය මගීන්ටත්, විශේෂයෙන් විදේශ සංචාරකයින් ගසා කෑමේ ජාවාරමක් පවතින බව පෙනී ගොස් ඇත.
ඇතැම් තැරැව්කරුවන් විසින් ආසන වෙන් කිරීමේ දී ඇතැම් දුරගමන් ප්‍රවේශ පත්‍ර පවතින මිල ගණනට වඩා කිහිප ගුණයකට වැඩි මුදලකට ( රුපියල් 1200 ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000-4000 දක්වා වැනි ) අලෙවි කරනු ලබයි.
එමෙන්ම මේ නිසා දේශීය සංචාරකයින්ට පවා දුම්රියේ ආසන වෙන් කරවා ගැනීම ඉතාමත් දුශ්කර බව පෙනී ගොස් තිබේ. මෙම තත්ත්වය වළක්වා ලීම සඳහාත්, දුම්රිය සේවාව මගින් ගුණාත්මක සේවාවක් මගී ජනතාවට ලබා දීමත් අරමුණු කර ගනිමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම සුහුරු ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමේ පද්ධතිය හඳුන්වා දිමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.
රත්මලාන දුම්රිය අංගනය තුළ අලුත්වැඩියා කෙරෙන දුම්රිය මැඳිරි මෙන්ම ලී වලින් ඉදි කෙරන දුම්රිය මැඳිරි පද්ධතිය ද අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය.
දුම්රිය මැඳිරි අලුත්වැඩියාව සඳහා ඉතාමත් දක්ෂ සේවක පිරිසක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිටින අතර දැනට පුද්ගලික ආයතනයක් මගින් සිදු කරන එම කටයුතු තමන් වෙත ලබා දෙන ලෙස එම සේවක පිරිස් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ. අමාත්‍යවරයා සමග මෙම නිරීක්ෂණ කටයුතු සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගි විය.