අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (.22) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් සහ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මහා නාහිමිවරුන්ගේ සුව දුක් විමසමින් සුහද පිළිසඳරක යෙදුණු අතර එහිදී මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම නා හිමියන් බඩු මිල ඉහළ යාම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියහ.
පසුගිය රජය ගෙන ගිය කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ කෘෂිකර්මාන්තය බිඳවැටී තිබෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ බඩුමිල ක්‍රමවේදයකින් තොරව ඉහළ යාමක් සිදු වන බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
මෙම හමුවේදි මහනුවර-කොළඹ අධිවේගි මාර්ගය කඩිනමින් ඉදිකර දෙන ලෙස මහා නා හිමිවරුන් විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පසුගිය රජය විසින් මහනුවර-කොළඹ අධිවේගි මාර්ගය ඉදිකිරීම අතපසු කර තිබූ අතර මේ වනවිට අධිවේගි මාර්ගය සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක්ද පැන නැගී තිබෙන බවයි.
නමුත් ඉක්මනින් නීතිපතිවරයාගෙන් විමසා එම නීතිමය ගැටළුව විසඳා හැකි ඉක්මනින් අධිවේගි මාර්ගය ඉදිකර ජනතා අයිතියට පත් කරන බව අගමැතිවරයා මහා නා හිමිවරුන් හමුවේ සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිළුම් අමුණුගම,මහනුවර විෂ්නු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.