ලකඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය අවුරුදු 69ක කාලය තුළ ආරක්‍ෂක තර්ජන, ජාතික ව්‍යසනයන්, ආපදා සහ හදිසි අවස්ථාවලදී අසමසම සේවාවක් සිදු කළ අතර ජනතාවගේ සුභ සාධන කටයුතු ඉටුකිරීම සඳහාද සුවිශේෂී දායකත්වයක් සැපයූ බව සඳහන් කළ ගුවන්හමුදාපතිවරයා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් , රෝහල්, දුම්රිය ස්ථාන, ළමා නිවාස ඇතුළු පොදු ස්ථාන මෙන්ම පූජනීය ස්ථාන රැසක්ද නවීකරණය කිරීම සඳහා ගුවන් හමුුදාව සිය ශ්‍රම දායකත්වය සපයා ඇති අතර එළඹෙන මාර්තු මස මුල් සතිය තුළදී එම වැඩ නිමකර අදාළ ආයතන වෙත ලබා දෙන බව පැවසීය.
පසුගිය අවුරුදු 69 ක කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලකඹර සුරකිමින් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් ඉටු කිරීම සඳහා දායකත්වය ලබා දුන් අතර මේ දක්වා ගුවන් හමුදාපතිවරුන් 17 දෙනෙකු නායකත්වය සහ මගපෙන්වීම ලබා දී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ගුවන් හමුදාපතිවරයා පැවසුවේ ගුවන් හමුදා සංවත්සරය යෙදෙන මාර්තු මස 02 වන දින සියලුම ගුවන් හමුදා කඳවුරු මගින් රුක් රෝපණ වැඩසටහන් සහ ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවයි. දිවයින පුරා සිටින පා පැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරමින් අඛණ්ඩව 21 වන වරටත් පවත්වන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 05,06 සහ 07 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මාර්තු 01 දා කැලණිය රජමහා විහාරයේ පිච්ච මල් පූජාවක් සිදු කෙරෙන අතර දියතලාව ගුවන් හමුදා කඳවුරේ දායකත්වයෙන් ශ්‍රී පාද භූමිය අවට කුණු කසල ඉවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.ගුවන් හමුදා ධජය ඇතුලුව සියලුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරන ධජයන් ආශිර්වාද ගැන්වීමේ පූජෝත්සවය මාර්තු මස 06වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල පැවැත් වේ.
මෙම මාධ්‍ය හමුවට ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ, ගුවන් හමුදාවේ වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන්ත විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ