සාම්ප්‍රදායික ආහාර ගැනීමෙන් ආබාධ සහිත දරුවන් බිහිවීම අවම කරගත හැකි බවද ඒ මහතා පැවසුවේ උපත් ආබාධ පිළිබඳ 09 වැනි ජාත්‍යන්තර සමුළුවේ සමාප්ති සැසිවාරය අමතමිනි.
රටවල් 38ක නියෝජිතයන් සහභාගී වූ මෙම සමුළුවේ සමාප්ති උත්සවය අද (26) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණේ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමරිකාවේ මාච් ඔන් ඩයිම්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගමය ඇතැම් ජාතික හා ජාත්‍යන්තර ආයතන ගණනාවක් මෙම සමුළුවට අනුග්‍රහය දක්වා තිබුණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කෘමි නාශක, රසායනික පොහොර හා ජාන වෙනස් කළ ආහාර නිසා වර්තමානයේදී ශ්‍රී ලංකාවේද ආබාධ සහිත දරු උපත් දැකිය හැකි බවත්, ලෝකය පුරා මේ පිළිබඳව සිදුකොට තිබෙන පර්යේෂණ ප්‍රමාණවත් නොවන බවත්, සඳහන් කළේය.
ඉන්දියාවේ පුනේ හි පිහිටි උපත් ආබාධ පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය අනීතා කාර් මහත්මිය ආබාධ සහිත දරු උපත් පිළිබදව ශ්‍රී ලංකාවේ තත්වය හා සංසන්දනය කරන විට ඉන්දියාවේ තත්වය කණගාටුදායක බව කීවාය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව හා සේවාවන් නිසා ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබදව පුදුම වන බවද පැවසූ කාර් මහත්මිය ඉන්දියන් සමාජයේ බොහෝ දෙනෙක් උපත් ආබාධ සහිත දරුවන් සළකන්නේ අවාසනාව ගෙනා අය ලෙස බවත් සඳහන් කළාය.
මෙම සමුළුවේදී සකස් කරන ලද කරුණු 15 කින් යුත් උපත් ආබාධ පිළිබද කොළඹ ප්‍රකාශනය එහි සම සභාපති මහාචාර්ය විද්‍යාජෝති වජිර එස්. ඩබ්ලිව්. දිසානායක මහතා විසින් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය වෙත පිළිගන්වන ලදී.