මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි සංවර්ධන ව්‍යාපාරය අඩසියවසක් පසු කරයි

    මාර්තු 01, 2020

    මහවැලි සංවර්ධන ව්‍යාපාරය පසුගිය 28 දින අඩ සියවසක කඩ ඉම පසු කළේය .

     

    ඒ වෙනුවෙන් වූ අභිමානවත් සැමරුම් උළෙල කෘෂි කර්ම , වාරි මාර්ග, මහවැලි සංවර්ධන හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවත්විණි.

    මෙම සැමරුම් උලෙළේදී මහවැලි සමරු මුල්දින කවරය එළි දැක්වීම ,මහවැලි සංචාරක බංගලා පිළිබඳව අන්තර්ජාලයට නිකුත් කිරීම,නව මහවැලි වෙබ් අඩවිය විවෘත කිරීම,මහවැලි යූ ටියුබ් නාලිකාව ආරම්භ කිරීම, මහවැලි වෙබ් ගුවන් විදුලිය ආරම්භ කිරීම,මහවැලි පුවත්පත් අතිරේකය එළි දැක්විම සිදුවුන අතර ප්‍රධාන කාර්ය ලෙසින් වසර 30 ක සේවා කාලය සැපිරූ නිළධාරින් ,ගොවි නායකයන් ඇගයීමද චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සහ රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ අතින් සිදු කෙරිණි.

     

    ප්‍රධාන ආරාධිතයන් ලෙසින් මෙම අවස්ථාවට එක්වූ චමල් රාජපක්ෂ මහතා සිය අදහස් එක් කළේය .

    ''මගේ පියා ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමන් ජීවත්ව සිටි කාලයේදී මට මතකයි පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් ජනපද ව්‍යාපාර පිළිබඳව , විවිධ ජලාශ ව්‍යාපෘතින් පිළිබඳව මා ලැබූ අත්දැකීම් සමුදාය .ඒ නිසා අද දින පනස් වසර සපුරන මහවැලිය අපේ ජන ජීවිතයට හරි සමීපයි.මේ අවස්ථාවේදී මා කියන්න කැමතියි අපි රටක් විදියට සංවර්ධිත මට්ටමට පැමිණීමට නම් අපි හැමෝම කැපවිය යුතුයි.මහවැලිය නවලෝකය හා බද්ධව අලුත් ආර්ථික උත්පාදන ව්‍යාපාර කරා යොමුවිය යුතුයි.මහවැලියේ හැම ක්ෂේත්‍රයකටම අලුත් අර්ථ කථනයක් ලබා දිය යුතුයි.''

    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම උත්සව අවස්තාවට මෙසේ අදහස් එක් කළේය .
    ''මහවැලි සංවර්ධන ව්‍යාපාරය අද දින වර්ෂ පනහක් සපුරනවා.අපේ බලාපොරොත්තුව තව ශත වර්ෂයකට මහවැලිය සංවර්ධනයෙන් යාවත් කාලීන කිරීම.ඒ වෙනුවෙන් අපි කොත්මලේ වේල්ල මීටර් 30 කින් උස් කිරීමට , කැළණි ගගේ ජලය මහවැලියට ලබාදීම , නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ජලාශ තුනක් ඉදිකිරීම ආදි සැලසුම් රැසක් සිදුකොට තිබෙයි. ඒ වගේම මහවැලි වෙනුවෙන් මෙතෙක් කැපවූ සියළුම ජනතාවටත් මාගේ ප්‍රණාමය පුද කරන්නෙමි''

    මෙම අවස්තාවට මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරින් ,ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ ඉංජිනේරු සුනිල් පෙරේරා , මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ දයාශ්‍රිත තිසේරා ඇතුළු සියළු නිළධාරි මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.එමෙන්ම ගොවි නායකයන් , විශ්‍රාම ගිය මහවැලි නිළධාරින් , සීලරත්න සෙනරත් , සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු කලා කරුවන් රැසක්ද එක්ව සිටියහ.උත්සව අවස්ථාව මහවැලි සංස්කෘතික බලකාය විසින් වර්ණවත් කරනු ලැබිණි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya