මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ‘බිග් මැච්’ සංදර්ශනවල දී පාසල්වල කීර්ති නාමය විනාශ නොකර විනය අකුරට පවත්වා ගැනීමට සිසුන්ට උපදෙස්  

    මාර්තු 02, 2020

    අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමී ව පැවැත්වෙන රථවාහන පෙලපාලිවල දී, ඒ සඳහා සහභාගී වන එක් එක් පාසල්වල කීර්ති නාමය විනාශ නොකර මාර්ග විනය පවත්වාගැනීම සම්බන්ධ ව එම තරගාවලීන් පවත්වන සියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදිශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීමේ හමුවක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    පොදු ප්‍රවාහන මාර්ග පරිහරණය කරමින් පාසල් සිසුන් විසින් ‘බිග් මැච්’ (අන්තර් පාසල් ක්‍රිකට් තරග) සංදර්ශන පැවැත්වීම නිසා මහජනතාවට ඔවුන්ගේ ගමනාගමන අයිතිවාසිකම් උල්ලංඝණය වීමට ඉඩ තැබිය නොහැකි බව ද, පසුගිය සමය තුළ මෙවැනි අවස්ථාවල වාර්තා වී ඇති සිදුවීම් කෙරෙහි විමසා බලනවිට පාසල් සිසුන් අනතුරුවලට ලක්වීම වැනි ඉතා කණගාටුදායක අවස්ථා ප්‍රධාන පෙලේ පාසල්වලින් ද වාර්තා වී ඇති බැවින් ඒවා වළක්වා ගනිමින් පාසල් අතර සුහදතාව වර්ධනය වන පරිදි හා අතීතයේ සිට පැවත එන සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් රැගෙනයාම කෙරෙහි අවධානය යොමුවිය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.

     

    බාලිකා පාසල්වල දරුවන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම, මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි වැනි හානිකර ඇබ්බැහිවීම්වලට යොමුවීම,මහමඟ ගමන් කරන වැඩිහිටියන්, කාන්තාවන්, ආබාධිතයන්ට උසුළු විසුළු කිරීම, වීදි චාරිකාවේ යෙදෙන අතරතුර මහජනතාවගෙන් මුදල් සිඟාකෑම (Hat Collection) වැනි වරදකාරී, විනය විරෝධී, සහ අපකීර්තිමත් ක්‍රියාවලින් වැළකී සමාජයටආදර්ශවත් වන අයුරින් තරගාවලිය පවත්වාගෙන යාම පාසල් ප්‍රධානීන් හා ප්‍රධාන ශිෂ්‍ය නායක ඇතුළු වගකිවයුත්තන්ගේ අවධානය යොමුකළ යුතු බව තම වෘත්තීය අත්දැකීම් ද පදනම් කරගනිමින් සම්බන්ධ තම වෘත්තීය අත්දැකීම් මෙහි දී නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධානයට ලක් කළේය.

     

    ඒ අනුව, එළඹෙන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලීන් සහ ඊට සමගාමීව පවත්වන රථවාහන පෙළපාලිවල දී කවර හෝ සිසුවෙක් විනය විරෝධී හැසිරීමක නිරතවුවහොත් ඔහුට විරුද්ධව නීතිය අකුරට ම ක්‍රියාවේ යොදවන බව ද, තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්නට අනුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට රටේ කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර, සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස්, ක්‍රීඩා අධ්‍යාපන අධ්‍යක්ෂ දයා බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සම්බන්ධ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එම් ඒ කේ ඒ ඉන්දික හපුගොඩ මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya