ශ්‍රී ලංකාවේ සෑම දිනක දී ම දරුවන් 06 දෙනකු උපත් අබාධ සහිත ව මෙලොව එළිය දකී. ඉන් දෙදෙනකු මියයයි. එසේම, සෑම වසරක දී ම උපදින දරුවන් 200 ක් තුළ දරුණු උපත් අබාධ දක්නට ලැබෙන අතර ඔවුන් සිය ජිවිත කාලය පුරා එමඟින් පිඩා විඳිනු ලබයි. දරුවන් 650 දෙනකු සිය පළමු උපන්දිනය සැමරීමට පෙර මිය යන්නේ ද උපත් අබාධ හේතුවෙනි. උපත් අබාධ දරුවන්ට අදාළ පවුලට සහා පොදුවේ සමාජයටත් දැඩි සේ බලපාන සෞඛ්‍ය ගැටළුවකි. මෙහි දී අවධානයට ලක් කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ උපත් අබාධ නිසා සිදු වන මරණ වැඩි ප්‍රමාණයක් දැනුවත් වී වළක්වා ගත හැකි වීමයි.
මේ කරුණු පිළිබඳ ව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ සහ ඒවා වළක්වා ගැනීම පිළිබඳ ව ජාත්‍යන්තර සමුළුවක් පෙබරවාරි 23 දින සිට 26
දක්වා සිනමන් ලේක් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
සැමට සෞඛ්‍ය ළඟා කර දීම උදෙසා උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පිළිබඳ ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස කෙරෙන ඉල්ලීම සහිත වූ මෙම “කොළඹ ප්‍රකාශනය” (03) දිනයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට පිළිගන්වන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශය හරහා මෙම ප්‍රකාශනය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත භාර දීමට කටයුතු කරන බවත්, රටක් වශයෙන් සහ ගෝලීය වශයෙන් උපත් අබාධ සහිත තැනැත්තන් සඳහා කටයුතු කිරීමේ වැදගත්කම සහ ඒ පිළිබඳව ලෝක ප්‍රජාවගේ අවධානයට යොමු කිරීම මෙහි මූලික අරමුණ වන බව වෛද්‍ය පවුල්
සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
ඒ අනුව, මෙම ප්‍රකාශනය තුළින් 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේ දී උපත් අබාධ පිලිබඳ යෝජනා 2010 (WHA 63.17 න්‍යාය පත්‍ර අංක 11.7) පසු විපරමකට ලක්කොට එම යෝජනා ක්‍රියාත්මක වීම පිලිබඳ ව සමාලෝචනයට ලක් කිරීම සහ ගෝලීය සෞඛ්‍ය න්‍යාය පත්‍රයේ උපත් අබාධ සත්කාරය සජ වැළක්වීම ප්‍රමුඛතාවයට ගෙන එමට වූ ක්‍රියාමාර්ග පුනර්ජීවනයකට ලක්කිරීම යන කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටී.
ලෝකය පුරා මිලියන 08 ක පමණ පුද්ගලයින් උපත් අබාධ නිසා පිඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටින්නේ අඩු සහ මධ්‍යම අදායම් ලබන රටවලයි.
උපත් අබාධ සහිතව ජිවත්වන්නන් ද ජිවිත කාලය පුරාම අබධිතාව කල් ගෙවයි. උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පුද්ගලයින්ට පවුල් වලට සහ පුළුල් ලෙස ගත කළ සමාජයේ ද සෞඛ්‍ය උදෙසා වැදගත් කාර්යයභාරයක් කරනු ලැබේ. උපත් අබාධ පැතිරීමේ දී සහ ඊට අදාළ මරණ වල භූ ගෝලීය ව්‍යාප්ති නිර්ණය කිරීමටත් ඒ සඳහා සම්පත් වෙන් කිරීමටත්, පළමුව උපත් අබාධ ගණනය කළ යුතු වේ. 2030 වසරේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සැළසුම් ක්‍රියාත්මක වන අවස්ථාවක උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම අරමුණු කර ගත් සේවා සැපයීම ලොව පුරා සෑම ආණ්ඩුවකම සැළකිල්ලට භාජනය විය යුතුය. ඒ අනුව, කොළඹ ප්‍රකාශනය එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ජාත්‍යන්තර සංවර්ධන කොටස්කරුවන්ගෙන්, ආණ්ඩුවලින්, අරමුදල් සම්පාදකයින්ගෙන් සහ ගෝලීය ප්‍රජාවගෙන් ආධාර සහ සම්පත් කැප කරමින් ඉල්ලා සිටිනුයේ සැමට සෞඛ්‍ය ළඟා කර දීම උදෙසා උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
එමෙන්ම, පසුගිය මස දී පැවැත් වූ සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ තත්ත්වයන් පිළිබඳ 09 වන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ සියල්ලන්ගේම පැසසුමට සහ කීර්තියට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ලක් වූ බවත්, එය මෙරටට විශාල කීර්තියක් අත් කර දීමට සමත් වීමට හැකි වූ බවත් මෙහි දී කොළඹ ප්‍රකාශනයේ සඳහන් ඉල්ලීම් පිළිබඳව හඳුන්වා දෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ප්‍රවේණි වෛද්‍ය අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය වජිර දිසානායක මහතා කියා සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනී වෛද්‍ය අනුලා විජේසුන්දර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ යන මහත්මීහු ද සහභාගී වූහ.