අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ. ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත.
ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූණු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබිණි. එ බැවින් ලොකු ලූණු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලොකු ලූණු ආනයනය වෙනුවෙන් වැය විය.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලොකු ලූණු සඳහා වන රජයේ සහතික මිල ඉහළ නැංවීම සහ ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ
යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.
එසේ ම දැනට පවතින ලොකු ලූණු වගාවන් හි ඵලදායිතාව ඉහළ නැංවීම මගින් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ද නව වැඩපිළවෙළක් ආරම්භ කෙරේ. මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන යන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිත ය. මෙම වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මාස හයකට වරක් අමාත්‍ය මණ්ඩලයේ දී සලකා බැලේ. තව ද පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 190/=ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.