මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් කඩිනමින් සියරට පිටත් කිරීමට ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි

    මාර්තු 18, 2020

    ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් කඩිනමින් සියරට පිටත් කිරීමට ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි

    දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් කඩිනමින් නැවත සියරට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය සාධනීය ලෙස සම්බන්ධීකරණ කටයුතු හා පහසුකම් සැලසීම සිදුකරයි. වේගයෙන් පැතිරෙන කොවිඩ්-19 වෛරසය නිසා පනවා ඇති සංචාරක හා වෙනත් සීමාකිරීම් සැලැකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

    නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සොයාගනු ලැබූ තොරතුරු අනුව වන්දනා නඩ විසිදෙකකට අයත් ශ්‍රී ලාංකික වන්දනාකරුවෝ එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ සිටිති. මෙම වන්දනාකරුවන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා රජය 2020 මාර්තු 09 වැනි දින දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට පෙරය. කෙසේවුවද, ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාර සහ වන්දනා නඩ සම්බන්ධ කරගැනීමෙන් ගණනය කරනු ලැබූ මෙම සංඛ්‍යා ලේඛනවල ඇතැම් අවස්ථාවලදී ද්විත්වකරණයක් තිබීමට පුළුවන. ඊට හේතුව මෙයින් ඇතැම් වන්දනා නඩ මේ අවස්ථාව වන විට සංචාරයේ යෙදී සිටීමයි.

    ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල උතුරු ඉන්දියාවේ පිහිටි බෞද්ධ වන්දනා සිද්ධස්ථානවල වැඩවසන ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහ වන්දනා නඩ සමඟ සමීප ලෙස සබඳතා පවත්වයි. වර්ධනය වමින් පවතින තත්ත්වය සැලැකිල්ලට ගනිමින් පෙරළා සියරට යෑමේ කටයුතු කඩිනම් කරන ලෙසට වන්දනා නඩවලින් ඉල්ලීමක් කොට ඇත.

    මෙම වන්දනාකරුවන්ගෙන් බොහෝ දෙනකු ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලිය හා චෙන්නායි නුවර හරහා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ගුවන් ප්‍රවේශපත්‍ර වෙනස් කරවාගැනීම පිණිස අදාළ ගුවන්සේවා සමාගම් සමඟ සාකච්ඡා කිරීමද ඇතුළුව ඔවුන් පෙරළා සියරට පිටත්කිරීමේ කටයුතුවලට රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩල පහසුකම් සපයමින් සිටියි.

     

     

    ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

    නවදිල්ලිය

     

    2020 මාර්තු 17 වැනිදා

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya