කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොදු ප්‍රවාහණ සේවාවන් සීමාවන් සහිතව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි හෙට සිට (20) අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල හැර සෙසු සාමාන්‍ය පළාත් අතර බස් රථ ධාවනය සඳහා සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් පරිදි සීමාවන් ලිහිල් කිරීමට පියවර ගත් බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෙසේ වුවද පොදු ප්‍රවාහනය තවමත් විවෘත කර තිබෙන්නේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් සඳහා පමණි. සාමාන්‍ය මහජනතාව සඳහා ප්‍රවාහණ සේවා විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබේ.
දැනට පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපය තුළත් කොවිඩ් 19 සම්බන්ධව යහපත් තත්ත්වයක් රට තුළ පවතින්නේ නම් ලබන සඳුදා දින (25) සිට රට යථා පරිදි පවත්වාගෙන යාමට හැකි වෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාම සම්බන්ධව අද දින නිලධාරි මට්ටමින් පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැති අතර ඊට පොලිස්, සෞඛ්‍ය , ලංගම, දුම්රිය, ජාතික ගමනාගමන කොමිසම හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරිවල සභාපතිවරු ද සහභාගි වී සිටියහ.
දුම්රිය සම්බන්ධව දැනට පවතින තත්ත්වය නම් ආසන වෙන් කරගන්නා ඇතැම් රාජ්‍ය හා පුද්ගලික අංශයේ නිලධාරින් සේවාවන් සඳහා නොපැමණීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් මතු වී තිබේ. මෙම සතිය තුළ දුම්රිය ආසන සඳහා 11500ක් ලියාපදිංචි කර ඇතත් වෙන් කරවා ගත් ආසන සඳහා පැමිණ තිබෙන්නේ පුද්ගලයින් 8955ක් පමණි.
එමනිසා දුම්රියේ ගමන් කිරීමට කල් තියා ආසන වෙන් කරවා ගැනීමකින් තොරව පැමිණෙන සියලු රාජ්‍ය හා පුද්ගලික ආයතනවල සේවකයින් ප්‍රවාහනය සඳහා ඉඩ සැලසීමට තීරණය විය. ඔවුන් තම සේවා හැඳුනුම් පත ඉදිරිපත් කළ යුතුය.
මේ අතර ඇතැම් පුද්ගලයින් තමන්ට ගමන් කිරීම සඳහා බස් රථ නැති බවට දෝෂාරෝපනය කරමින් මාධ්‍ය ඔස්සේ පළ කරන කාරණා සම්බන්ධව අදහස් දැක්වු අමාත්‍යවරයා සාමාන්‍ය මගී ප්‍රවාහණය තවමත් ආරම්භ කර නොමැති බවත්, දැනට සිදු කෙරෙන්නේ දිස්ත්‍රික්ක තුළ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ප්‍රවාහණ කටයුතු පවත්වාගෙන යාම පමණක් බව අවධාරණය කළේය. නිදසුන් ලෙස අනුරාධපුර සිට කොළඹට හෝ වෙනත් දිස්ත්‍රික්කයකට ගමන් කිරීමට ප්‍රවාහණ පහසුකම් සැලසීමට සෞඛ්‍ය අංශ අවසරදී නැත.
කොවිඩ් 19 හේතුවෙන් පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කරනුයේ සෞඛ්‍ය අංශ විිසින් ලබා දෙන උපදෙස් මතම පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොදු ප්‍රවාහණයේ දි මින් පෙර ගත් තීරණ පරිදි ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම, මුහුණු ආවරණ අනිවාර්යය කිරීම මෙන්ම විෂබීජනාශක බස් රථ තුළ තබා ගැනීම කළ යුතුය. මගීන් සිට ගෙන ගමන් කිරීමට කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැත. එම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.