පසුගිය 2019 වසරේ අප්‍රේල් 21 දින කිසිවෙක් නොසිතූ පරිදි මුළු ලක්වාසී ජනතාව මෙන්ම ලෝකවාසී ජනතාව ද කම්පාවට පත්කරමින් අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන ඉළක්ක කර ගනිමින් මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදි. එම බෝම්බ ප්‍රහාරය පාස්කු දින ප්‍රහාරය ලෙස හදුන්වයි.
එම බෝම්බ ප්‍රහාර තුලින් මිනිස් ජීවිත සිය ගණනක් දැයට අහිමි විය. එමෙන්ම තවත් සිය ගණනකට අත් පා අහිමිව තුවාල සිදුවිය. එම තුවාල ලැබූ පිරිසෙන් 139 දෙනෙක් තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර, එයිනුත් 39 දෙනෙක් සදහා දීර්ඝ කාලීනව විශේෂ වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ යුතු යැයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
එම අසරණ රෝගීන්ට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අනුව ප්‍රතිකාර සේවාවන් සිදු කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විසින් අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැනුවත් කර ඇත. ඒ් අනුව මෙම රෝගීන් 39 දෙනා සදහා රජය මැදිහත් වී සිදු කළ යුතු විශේෂ ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමට අවධානය යොමු කරන ලෙස පසුගිය දිනක අමාත්‍යතුමිය අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවූ අවස්ථාවේ දී උන්වහන්සේ අමාත්‍යතුමියට යෝජනාවක් ලෙස ඉදිරිපත් කලේය.
ඒ පිළිබද සිය අවධානය කඩිනමින් යොමු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල හරහා එම රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුලු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පූර්ණ අධීක්ෂණයෙන් එම රෝගීන් 39 දෙනාට සහ තවත් අවශ්‍යතා ඇති අය වෙතොත් ඔවුන් සදහා සිදු කළ යුතු විශේෂ ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමට අවශ්‍ය සියළු කටයුතු යෙදීමට පියවර ගෙන ඇත. එමෙන්ම එම රෝගීන්ගේ ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සිදු කිරීමට අදාලව වන සියළු වියදම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වැය කිරීමට ද තීරණය කොට ඇත.
ඒ පිළිබදව අගරදගුරුතුමන් දැනුවත් කිරිමට සහ ප්‍රතිකාර සේවාවන්ට අදාලව ගත යුතු ඉදිරි පියවර පිළිබදව අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (16) දින කොළඹ අගරදගුරු මැදුරේ දී උන් වහන්සේ බැහැදකින ලදි.
මෙම හමුවෙන් අනතුරුව අදහස් දැක් වූ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් - “පාස්කු ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සහ අංගවිකල තත්ත්වයට පත් වූවන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධ කර ගනිමින් සකස් කරනු ලැබුවා. එම වැඩපිළිවෙල පිළිබද සාකච්ඡා කිරිමට සෞඛ්‍ය අමාත්‍යතුමිය අද දින මා හමුවීමට පැමිණියා. මේ වැඩපිළිවෙල සංවිධානය කිරිම ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලබා විවිධ මට්ටම්වල ඉන්න රෝගීන් වෙනුවෙන් සිදු කරනු ලබන සහ සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩපිළීවෙල අපි ආශිර්වාදයක් ලෙස සළකනවා. ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූවන්ට තමන්ගේ අසරණ තත්ත්වයෙන් මිදෙන්නට මෙය හොද අවස්ථාවක් වනවා. මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යතුමියටත්, සෞඛ්‍ය ලේකම්තුමාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමාටත්, ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලවලටත් අපගේ ස්තූතිය පුද කරනවා.”
මෙම හමුවෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාරයෙන් විශාල පිරිසක් රෝගීන් බවට පත් වුනා. කාදිනල් හිමිපාණන් පසුගිය දිනෙක මා හමු වූ අවස්ථාවක උන්වහන්සේ බලාපොරොත්තු වුනා පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ කුඩා දරුවන්, වැඩිහිටියන් ඇතුලු පිරිස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සම්බන්ධ කර එම රෝහල තුලින් ජිවිතාන්තය දක්වා ප්‍රතිකාර ගත යුතු අයට ජිවිතාන්තය දක්වා උසස් අන්දමින් ප්‍රතිකාර සේවාවන් ලබාදිමටත්, මේ වකවානුව තුල සිදු කළ යුතු ශල්‍යකර්ම තිබෙනවා නම් එම ශල්‍ය කර්ම සිදු කිරීමට සහ අවශ්‍ය අනෙකුත් ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු සිදු කර දෙන ලෙස. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර සේවාවන් සිදු කරන්නේ යම් කිසි මුදලක් අය කරමින්. එබැවින් ජාතික සංවර්ධන අරමුදලෙන් ඒ් සදහා මුදල් වෙන් කිරීමට අප කටයුතු කළා. ඒ අනුව පූර්ණකාලීන හා අර්ධකාලීන ආබාධ තත්ත්වයට පත් වූවන්ට, කුඩා දරුවන්ට, අවශ්‍ය සියළු ප්‍රතිකාර සිදු කිරිමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට බාර දී ඒ සදහා වන වියදම් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් වියදම් කර මෙම ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමට කටයුතු කරන ලෙස මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජයවර්ධනපුර රෝහලේ සභාපති මහාචාර්ය එච්.ඩී. ජයරත්න, ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ, අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ද එක්ව සිටියහ.