ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නැත. එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිළි කරන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දෙයි.
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අවවාදාත්මක ප්‍රකාශය කළේය.
ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවලද මහබැංකු ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේද ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙරට මහබැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැත. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇත. ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150ක් මූල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට ජනාධිපතිතුමා කළ යෝජනාව මහබැංකුව පැහැර හැර තිබේ. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බව ජනාධිපතිතුමා කීය.
මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවති. ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන ජනාධිපතිතුමා සිය අප්‍රසාදය පළ කළේය. ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා එය ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කළේය. සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළහ. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී තිබේ. එය ඉටුකරනු වෙනුවට මහබැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව ජනාධිපතිතුමා කීය. ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය හෝ දෙන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එය අදම කළයුතු බවද එතුමා අවධාරණය කළේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු සහ මහබැංකු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.