මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    පාසල් යලි ආරම්භයෙන් පසු සිසුන් ප්‍රවාහනය සිදුකළ යුතු අයුරු සාකච්ඡාවට ලක්කෙරේ

    ජූනි 18, 2020

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තබන ලද පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු සිසුන් ප්‍රවාහනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මගී ප්‍රවාහන අධිකාරිය, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සමස්ත ලංකා පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයන් රැසක සහභාගීත්වයෙන් (16) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

    පවත්නා සුවිශේෂ වාතාවරණය හමුවේ සියලු සමාජ පාර්ශවයන් යම් පසුබෑමකට ලක්ව සිටින බවත්, ලාභ ඉපැයීම වෙනුවට පවත්නා සමාජ අවශ්‍යතාව කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් දරුවන්ගේ මානයෙන් ගැටළු දෙස අවධානය යොමු කළ යුතු බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අවධාරණය කළ අතර, විශේෂයෙන් ම සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශවලට අනුගත ව, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සියලු සෞඛ්‍ය උපදෙස්වලට අනුකූල ව පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බව ද පෙන්වා දුන්නේ ය.

    ප්‍රවාහන සංගම් නියෝජිතයන් විසින් මෙම හමුවේ දී ප්‍රධාන වශයෙන් මතු කළ කරුණක් වූයේ පාසල් නිමා කිරීම අවස්ථා තුනක දී සිදුකිරීම හේතුවෙන් දරුවන් රඳවා තබාගැනීමට සිදුවන කාලය පිළිබඳ ගැටළුව නිසා එම අවස්ථා ගණන දෙකකට සීමා කිරීම සම්බන්ධ යෝජනාවයි. ආසන ප්‍රමාණයට පමණක් සිසුන් ප්‍රවාහනය, දුරස්ථභාවය පවත්වාගැනීම, වෑන් රථ තුළ විෂබීජහරණය, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම වැනි සෞඛ්‍ය උපදෙස්වලට එකඟ ව කටයුතු කිරීමට සියලු ප්‍රවාහන සංගම් නියෝජිතවරු මෙහි දී එකඟත්වය පළ කළහ.

    පාසල් විවෘත කිරීමේ තීරණය අදියර හතරකින් ක්‍රියාවට නැංවීම හරහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව සිසුන් ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සිදුකළ හැකි ප්‍රායෝගික මට්ටම අධ්‍යයනය කරන බවට ද, ක්‍රියාත්මක කිරීමේ දී හඳුනාගැනීමට ලැබෙන ගැටළු අනුව, ප්‍රවාහන නියෝජිතයන්ගේ අදහස් හා යෝජනාවන් ද සලකා බලා අවශ්‍ය වෙනස්කම් සිදුකරන බවට ද මෙහි දී තීරණය වූ අතර, ප්‍රවාහන අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී වැඩිදුරටත් සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නා බවට ද, මෙම අභියෝගය දෙස දරුවාගේ පාර්ශවයෙන් සිතා දරුවා ප්‍රථම මිනුම් දණ්ඩ කරගනිමින් විසඳුම් ලබා දිය යුතු බවට ද මෙහි දී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ .

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya