මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ රට පුරා බෙදා හැරීමට පියවර

    ජූනි 24, 2020

    කාබනික පොහොරවල ඇති ‘පොස්පරස්’ ඌනතාව සපුරා දෙමින් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ ‘එප්පාවල රොක් පොස්පේට්’ පොහොර පැකට්ටුවක් රට පුරා බෙදා හැරීමට කටයතු කරන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

     

    ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ පොහොර මිශ්‍රණය හඳුන්වාදීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

    කාබනික පොහොරවල ඇති ‘පොස්පරස් ඌනතාව සපුරා දිය හැකි ‘රොක් පොස්පේට්’ පොහොර මිශ්‍රණයක් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ හඳුන්වාදීමට හැකි වූ බවත් එම පොහොර මිශ්‍රණය කාබනික පොහොර සමඟ මිශ්‍ර කිරීමෙන් සවිබල ගැන්වූ කාබනික පොහොර මිශ්‍රණයක් ලැබෙන බවත් එය වස විසෙන් තොර ගොවිතැනක් පිළිබඳ බලාපොරොත්තු තබා සිටින මෙරට ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ඉතා සුබදායක පණිවිඩයක් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කීය.

     

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

    “ලංකා පොස්පේට් සමාගම ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත්ව ඇත්තේ. එප්පාවල පොස්පේට් නිධිය අපට ලැබුණු ඉතාමත් අනගි දායාදයක්. අප දන්නවා එම දායාදය කුණු කොල්ලයට විකුණා දැමීමට සූදානම් වන විට නීතිය ඉදිරියට ගොස් රජරට ජනතාවට එය වළක්වා ගැනීමට හැකි වුණා. අද අපේ වගකීම වන්නේ ඒ අනගි සම්පත උපරිම කාලයක් මෙරට ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාව සපුරාලීම සඳහා යොදා ගැනීමයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ජනාධිපතිවරණයේ දී රට හමුවේ තැබූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය අනුව අප අමාත්‍යාංශයට හැකිව තිබෙනවා, ඉහත අවශ්‍යතාව සපුරාලීම පිණිස ඉදිරි පියවර ගැනීමට.

    අපි එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වූවාට පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළා. ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට්ඃ ඊ.ආර්.පී ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළා. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කරලා ඊට අගයක් එකතු කරලා ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම පළමු කටයුත්තයි. එයට යම් කාල වකවානුවක් ගත වෙනවා

     

    ඒත් කොවිඞ් වසංගතයත් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශය සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරඹා ඇති මේ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. ඒ සමඟම අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණා. දැන් ගොවි ජනතාවට හා ගෙවතු වගාවට එක්ව සිටින පිරිස්වලට අපි අද සිට ‘අපිට පොහොර අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01 ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දෙනවා. එහි හඳුන්වාදීමේ මිල රුපියල් 10යි. සාමාන්‍ය මිල රුපියල් 30ක්. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට අද සිට රටට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව තිබෙනවා. කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙනවා. නැත්තේ පොස්පරස් සංඝටකයයි. ඒ ඌනතාව අප හඳුන්වා දෙන එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගත හැකියි. ඒ අනුව රසායනික පොහොරවලින් තොර සෞඛ්‍යාරක්ෂිත ඵලදාවක් ලබා ගැනීමේ ඉඩකඩ ගොවි ජනතාවට හිමිව තිබෙනවා.

    ඒ අනුව ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය සහිත පොහොර පැකට්ටුවක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රට පුරා බෙදාහැරීමට අවශ්‍ය ධාරිතාවයෙන් ලංකා පොස්පේට් සමාගම කටයුතු කිරීමට සූදානම්. ඒ බෙදාහැරීම් කටයුතු සමඟ අපි පොහොර මිලදී ගන්නා සෑම අයෙකුටම මේ පොහොර මිශ්‍රණය කාබනික පොහොර හා මිශ්‍රකර ගන්නා අන්දම පිළිබඳ ලියැවුණු උපදෙස් පත්‍රිකාවක් ද භාෂා තුනෙන්ම ලබා දීමට කටයුතු කරනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර යන රාජ්‍ය සමාගම් දෙක ද හවුල් කර ගෙන ඉදිරි වසර තුන තුළ ‘රොක් පොස්පේට්’ වෙනුවට ‘සුපර් පොස්පේට්’ පොහොර නිපදවීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සැකසීම මේ දිනවල සිදුවෙනවා. ඒ සඳහා ඉහත පොහොර සමාගම්වල සභාපතිවරුන් ද සම්බන්ධ කර ගනිමින් අපි සාකච්ඡා ගණනාවක් පවත්වා තිබෙනවා. ඉදිරියේ දී ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් සමඟින් අපි එම කටයුත්ත ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපේ රටේ ජනතාවට පොහොර ආනයනය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමෙ ඉඩකඩ නිර්මාණය වන බවත් ය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එම්. බී. වීරසේකර, ලංකා පොස්පේට් සමාගමේ සභාපති ඉන්ජිනේරු අනිල් රණසිංහ, සාමාන්‍යාධිකාරී එච්. ආර්. යූ. ඩී. බණ්ඩාර යන මහත්වරු ද එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya