වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 ජූලි 15 වන දිනය ලෝක යොවුන් නිපුණතා දිනය නමින් නම් කර ලෝකයටම පූර්වාදර්ශයක් දීමට හැකි වූ බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහතා පැවසීය.
තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දෙමින් ජාත්‍යන්තරයට සහ දකුණු ආසියානු කලාපීය රටවලට නව පණිවිඩයක් ලබා දීමට ඒ ඔස්සේ හැකි වූ බවත් එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කළ බවත් ඒ මහතා පැවසීය. ලේකම්වරයා මේ බව සඳහන් කළේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
''රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මස 31 වනදින අධ්‍යාපනය සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිට වූ බවත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ අධ්‍යාපනඥයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල විද්වතු 300කගෙන් පමණ සමන්විත මෙම බලකාය 2020 -2030 වසර තුළ මානව සම්පත ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමේ වගකීම භාරගත් බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එම සැළැස්ම විද්වතුන්, මාධ්‍යවේදීන් සහ වෘත්තීය සමිති හරහා රටේම කතිකාවතකට ලක් කරමින් ජනතාව අතර විවෘත සංවාදයට භාජනය කිරීමටත් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉලක්කගත වැඩසටහනක් ඔස්සේ ක්‍රියාවට නැංවීමටත් බලාපොරොත්තු වේ. පුහුණු සහ අර්ධ පුහුණු මානව සම්පත රැකියා වෙළඳපළට ගැලපෙන අන්දමින් සකස්කිරීමේ වගකීම භාරගත් බවත් එම ඉලක්කය සපුරාගැනීම සඳහා මෙම සැළසුම සකස් කළ බවත් ලේකම්වරයා කීය.
අධ්‍යපනය ලබන සියළු දරුවන්ට උසස් අධ්‍යාපන වරම් ලබා දෙමින් පෞද්ගලික අංශයට ගැළපෙන ශ්‍රම වෙළඳපළක් බිහිකිරීම මෙහි අරමුණ බව පෙන්වා දුන් ලේකම්වරයා ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ , තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර තෝරා ගනිමින් ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන බවද පැවසීය.