මෙවැනි දේශීය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඉතිහාසයේ සිදුවන්නේ ප්‍රථම වතාවට බව පෙන්වා දුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, කොව්ඩ් වසංගතය හේතුවෙන් සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනයක් ලබා දීමේ අරමුණින් එම ව්‍යාපාරිකයනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමක් වශයෙන් රජය මෙම තීරණය ගත් බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ කොවිඩ් - 19 වසංගත තත්ත්වය යටතේ දේශීය සමාගම් සහ ව්‍යවසායකයින් විසින් සිය ව්‍යාපාරික කටයුතු සඳහා රජයේ සහාය වැඩි වශයෙන් අපේක්ෂා කරන බවත් ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවයි. රැකියා අවස්ථා ඇති කරමින් වැඩි අගය එකතු කිරීමක් කළ හැකි දේශීය කර්මාන්ත වශයෙන් හඳුනාගනු ලැබ ඇති ගෘහ භාණ්ඩ සහ උපකරණ, මෘදුකාංග හා දෘඩාංග සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සඳහා පහත සඳහන් පරිදි දේශීය වරණයන් ලබා දී ඇත.
ඒ අනුව:
i. දේශීය අගය එකතු කිරීම අවම වශයෙන් 50% ක් වන දේශීය නිෂ්පාදකයින් වෙතින් පමණක් කාර්යාලයීය ගෘහ භාණ්ඩ සහ උපකරණ අවශ්‍යතාවන් ප්‍රසම්පාදනය කිරීම.
ii. සියලුම මෘදුකාංග අවශ්‍යතා දේශීය සමාගම්වලින් පමණක් ප්‍රසම්පාදනය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම අපහසු වන්නේ නම් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව පමණක් එවැනි මිල දී ගැනීම් දේශීය සමාගම් නොවන ආයතන වෙතින් සිදු කිරීම.
iii. රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය පරිගණක දෘඩාංගවලට අදාළ පිරිවිතරයන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සකස් කරනු ලබන අතර, කිසියම් ආයතනයක් 25%ක දේශීය අගය එකතු කිරීමක් සිදු කරනු ලබන්නේ නම් ප්‍රසම්පාදන ඇගයීම් ක්‍රියාවලියේදී එකී ආයතනය සඳහා 30%ක වරණයක් ලබා දීම.
iv. නිවාස, මාර්ග, වාරිමාර්ග, ජලසම්පාදන සහ මලාපවහන පද්ධති ඇතුළු සියලු ඉදි කිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දිය යුතු අතර, විදේශීය කොන්ත්‍රාත්කරුවන් සඳහා උප කොන්ත්‍රාත් ලබා දෙන්නේ නම් එම කොන්ත්‍රාත්තුවල වටිනාකම තාවකාලික අරමුදල් රහිත කොන්ත්‍රාත් මිලෙන් 10%කට නොවැඩි විය යුතු වීම.
v. ඉහත දැක්වෙන අයුරින් කටයුතු කිරීම පිණිස ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විමසමින් සංශෝධිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිකුත් කිරීම.