මෙවර මැතිවරණයෙහි ගැටලු වාර්තා නොවුණු බවත්, සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව සාමකාමී අයුරින් පැවැත්වූ මැතිවරණයක් බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවර නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම ද ඉතාමත් අඩු අගයක් ගැණුනු අතර වෙනත් මැතිවරණ වලට සාපේක්ෂව ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම අතින් මෙවර මැතිවරණය යම් සාධනීය ස්ථානයක පවතින බවයි.
ඒ අනූව අපරට මැතිවරණ සම්බන්ධයෙන් යම් සාධනීය තැනකට එමින් සිටින බවද ඔහු විශේෂයෙන් අවධාරණය කළේය. එමෙන්ම මේ වන විට සතුටු විය හැකි ප්‍රමාණයක ඡන්දය ප්‍රකාශ කර ඇති බවද, ඡන්ද මධ්‍යස්ථාන සුරක්ෂිතව සකස් කිරීම සම්බන්ධව සෞඛ්‍ය අංශ වලට සහ මැතිවරණ කොමිෂන් සභාවට ස්තුතිය පළ කරන බවද ඔහු පැවසුවේය.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි මැතිවරණයෙහි මේ දක්වා කිසිදු බරපතල හෝ මධ්‍යම ගණයේ බරපතල සිදුවීම් කිසිවක් වාර්තා නොවුණු අතර, ප්‍රචණ්ඩක්‍රියාද ඉතාම අවම බවයි. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ නිරීක්ෂණ රථද මේ දක්වා මැතිවරණ කටයුතු වල නිරත වී සිටින අතර මෙවර මැතිවරණයෙහි ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතයෙහි සුළු අඩුවීමක්ද දක්නට ලැබෙන බව එම සංවිධානයෙහි ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් අදහස් දැක්වූ එහි ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා කියා සිටියේ මැතිවරණය මේ වන විට සාමකාමී නිදහස් වාතාවරණයක් උසුලන බවයි. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ කෙටි උනන්දුවක් පැවති බවද, එනම් උදය කාලයේ මන්දගාමී ස්වරූපයක් දක්නට ලැබුනු අතර දහවල් වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය අතට හැරුනු බවත් ඔහු පැවසුවේය. ඡන්ද විමසීමේ අවසන් හෝරා ද්විත්වය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වැඩිවනු ඇතැයි තම සංවිධානය අපේක්ෂා කරන බවද මංජුල මහතා කියා සිටියේය. එමෙන්ම මෙවර දරුණු ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ප්‍රබල බලපෑමක් ඇතිකල හැකි සිදුවීම් කිසිවක් සිදුනොවූ බවද ඔහු කියා සිටියේය.
කැෆේ සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා කියා සිටියේ ගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයේ අඩුවක් දක්නට ලැබෙන බවයි. කොරෝනා වසංගතයද එයට එක් හේතුවක් බව මනාස් මහතා පැවසුවේය.
මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වෙන වසර වලට සාපේක්ෂව අඩු බවක් පෙන්නුම් කරන අතර සමස්ථයක් වශයෙන් මැතිවරණය සාමකාමී ස්වභාවයක් ගන්නා බවද පැවසුවේය. ඡන්ද පොළවල් ආශ්‍රිතව රැදී සිට ඡන්දදායකයින්ට බලපෑම් කිරීම් ද මෙවර විශාල වශයෙන් අඩුවී ඇතැයි මනාස් මහතා කියා සිටියේය. ඡන්දපොළවල් වල විශාල වශයෙන් සෞඛ්‍ය රීතීන් පිළිපැදි බවට වාර්තා වුණු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ඒ අනූව බලන කළ මැතිවරණ නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණ අනූව මැතිවරණය සමස්ථයක් ලෙස සාමකාමී නිදහස් ස්වභාවයක් උසුලන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් වෙන මැතිවරණ වලට සාපේක්ෂව අඩු අගයක් ගනී. එය මැතිවරණ ක්‍රියාවලිය තුළ යම් සාධනීය තත්ත්වයකි.