මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ජනපති, අගමැති, නව ඇමතිවරු ත්‍රෛනිකායික මහා සංඝරත්නය බැහැ දකිති ....

    අගෝස්තු 13, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.


    රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා සංඝරත්නය එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත.
    මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල, අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිවරු ඇතුළු කාරක සංඝ සභාවේ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

    මෙවර මහ මැතිවරණයෙන් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට ස්වාධීනව ඉදිරියට යාමට හැකි බලයක් ජනතාව දී ඇතැයි සඳහන් කළ නියංගොඩ විජිතසිරි අනු නායක හිමියෝ එය මනාව හඳුනා ගනිමින් අභියෝග ජය ගැනීමට ආශිර්වාද කළහ.
    අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන, අනුනායකහිමිවරුන් වන අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමිවරු බැහැ දුටුහ.

    රටට යහපත් පාලක දෙපළක් පත්ව ඇතැයි අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නා හිමියෝ අනුශාසනාවක් කරමින් කියා සිටියහ. කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධූර සඳහා පත් කිරීම් සිදුකර ඇති ආකාරය ගැන උන්වහන්සේ සිය ප්‍රසාදය පළ කළහ. රටට, ජාතියට සේවය කිරීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ නව රජයට ආශිර්වාදය පළ කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපන පේමසිරි නා හිමියෝ සඳහන් කළහ.

    මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණි ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ආශිර්වාද පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ. පසුගිය කාලයේ පිරිවෙන් අධ්‍යාපනයට නිසි තැන හිමි නොවූ බව රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ නා හිමියෝ පෙන්වා දුන්හ.

    ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ගෙන යන නව වැඩපිළිවෙලත් සමග දේශීයත්වයට සහ රටට නව පණක් ලැබී ඇතැයි සඳහන් කළ ප්‍රේමවංශ නා හිමියෝ රටට අවශ්‍ය මොනවාද යන්න ඔබතුමන්ලා දෙපළට පෙනෙන බව පැවසූහ. දේශීය දේ නගා සිටුවීමට නව අමාත්‍යවරුන්ට වගකීම භාරදී ඇති බව පෙනෙන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

    ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විහාරාධිපති අතිපුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියෝ බැහැ දැක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්හ.

    මෙවර මහ මැතිවරණයේ දී ජනතාව සිය යුතුකම ඉටුකර ඇති අතර නව රජයට පැවරී ඇති යුතුකම ඉටුකිරීමට සියලුදෙනා කැපවෙනු ඇති බවත්, එම වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් උන්වහන්සේ කියා සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya