මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    අවශ්‍ය ඖෂධ වලින් සියයට 50 ක් මෙරටදීම නිෂ්පාදනය කරමින්, තත්ත්වයෙන් උසස් ඖෂධ ජනතාවට ලබාදීමට කටයුතු කරනවා

    අගෝස්තු 15, 2020

     

    ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩ අරඹයි.

    “ඖෂධ මිල අඩු කරන නියාවෙන් ගෙනගිය මහා ඖෂධ ජාවාරම නතර කොට, නීතිමය වශයෙන් ඖෂධ ක්ෂේත්‍රෙය් සිදු විය යුතු නිවැරදිකම් සහ වෙනස් කම් වෙනුවෙන් පෙනීසිටිමින්, මෙරටට
    අවශ්‍ය ඖෂධ වලින් සියයට 50 ක් මෙරටදීම නිෂ්පාදනය කරමින්, තත්ත්වයෙන් උසස් ඖෂධ ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.”

    නව රජයේ අභිනව කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත් කිරීම පසුගිය (12) දින මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා
    පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    එහිදී ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා දිවුරුම් දෙන ලද අතර, එතුමා සිය ධූරයේ වැඩ ආරම්භ කිරීම  (14) පස්වරුවේ
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී සිදු කරන ලදි.

    සිය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසු අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා - “අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරිමේ දී ඉතාම විද්‍යානුකූල පදනමකින් සිදු කර
    තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පළමු වරටම පාර්ලිමේන්තුවට පිවිසි මට සෟජුවම මගේ විෂය පථයට අදාල අමාත්‍යාංශය ලබාදි තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ඖෂධ
    නිෂ්පාදනය, බෙදාහැරීම හා නියාමනය පිළිබද වගකිම පළමු වැනි වතාවට වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් හැටියට එතුමා හදුන්වා දී තිබෙනවා. සුදුස්සාට සුදුසු තැන ලබාදීමට, අධ්‍යාපන සුදුසුකම්
    වලට සුදුසු තැන ලබාදීමට කටයුතු කිරිම පිළිබද එතුමාට ස්තූතිවන්ත වෙනවා.”

    “ඉදිරි වසර කිහිපයක කාලයේ මා ඉදිරියේ ලොකු වගකීමක් තිබෙනවා. මේ රට තුල පසුගිය වසර 04 ක 05 කාලයේ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වුණා. ඖෂධ වල මිල අඩු කරන බව පවසමින්
    ජනතාව රැවට්ටුවා. තත්ත්වයෙන් උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ සියල්ල රටින් ඉවත් කරලා බාල ඖෂධ මෙරටට හදුන්වාදීමේ කුමන්ත්‍රණයක් දියත් වුනා. ජනතාව පීඩාවට පත් වුණා. මෙය වහාම
    නිවැරදි කරන්න අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 50 ක් පළමු අවුරුදු 03 ක කාලසීමාවේ දී සම්පූර්ණයෙන්ම රට තුල නිෂ්පාදනය කිරීමේ සැළසුමක් අපට
    තිබෙනවා. ප්‍රතිකාර සදහා යොදා ගනු ලබන සේලයින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ඇතුලු ද්‍රව්‍ය සියල්ලක්ම රට තුල නිෂ්පාදනය කිරිම සදහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. නුදුරේදීම ඒ සදහා නවීන
    නිෂ්පාදනාගාරයක් රට තුල ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. සේනක බිබිලේ මහතා මේ රටට දුන් ආදර්ශයක් තිබෙනවා ඖෂධ ප්‍රතිපත්තිය පිළිබදව සහ නියාමණය පිළිබදව. එම
    අඩිපාරේ යමින් නවීන ලෝකයට අළුත් ලෝකයට ගැලපෙන ආකාරයට ඉදිරියට ගෙනගොස් මේ රටේ ජනතාවට අවශ්‍ය බටහිර ඖෂධ අඩුපාඩුවකින් තොරව, ප්‍රමිතියෙන් යුතුව සාධාරණ
    මිලකට ලබාදීම සදහා මම ඉදිරියේ දී කැපවෙනවා. ඖෂධ වල මිල අඩු කරනවා මෙන් සිදු කළ මහා ජාවාරම හා ජනතාව රැවටීමට ලක් කිරිම, ප්‍රමිතියෙන් යුතු ඖෂධ රටින් ඉවත් කිරීම, ටෙන්ඩර්
    පිරිනැමීමේ දී අවසන් අවස්ථාව තෙක් සිට වැඩි මිලකට ඖෂධ මිල දී ගැනීම සදහා ඇමැති පියවරු මෙන්ම පුත්තු ද මැදිහත් වෙලා කටයුතු යොදපු කාලයක් තිබුනා. අද ඒ කාලය නිමා වෙලා
    තිබෙනවා. මේ රටට ජනතාවට උපරිම සාධාරණය සිදු කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමා මට උපදෙස් ලබාදුන්නා.”

    “ඖෂධ පිළිබදව නීතියේ සිදුරු ගණනාවක් තිබෙනවා. මේ පිළිබද ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය සමගත් අපි සාකච්ඡා කළා. අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් අරගෙන
    නීතිමය වශයෙන් ඖෂධ ක්ෂේත්‍රයේ සිදු විය යුතු නිවැරදි කම් හා රටට හිතකර වෙනස්කම් කිරිම සදහා අප පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් අප්‍රමාදව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
    පසුගිය අවුරුදු 05 ක කාලයේ රටට අයිතිකාරයෙක් හිටියේ නැහැ, රාජ්‍යයට අයිතිකාරයෙක් හිටියේ නැහැ ආණ්ඩුවට අයිතිකාරයෙක් හිටියේ නැහැ. සෞඛ්‍යයට හරියට අයිතිකාරයෙක් හිටියේ
    නැහැ, ඖෂධ වලට හරියට අයිතිකාරයෙක් හිටියේ නැහැ ඒවා හරියට නියාමනය වුණේ නැහැ. එම නිසා මෙම අඩුපාඩු සිද්ධ වුණා. දැන් රටට භාරකාරයෙක් ඉන්නවා. නායකයෙක් ඉන්නවා.
    හොද අගමැතිවරයෙක් ඉන්නවා. හොද කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. එම නායකත්වය යටතේ තිබෙන අඩුපාඩු නිවැරදි කිරිමට බලාපොරොත්තු වෙනවා.”

    “වියළි කලාපීය කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබදව අපි 15 වසරක පමණ කාලයක් පෙනී සිටියා. කෘෂි රසායන මාෆියාව සමග අප සෘජුව ගැටුම් ඇතිකර ගත්තා. එයට මුහුණ දුන්නා. එයින්
    ජයග්‍රහණ ජනතාවට අරන් දුන්නා. රටට අහිතකර ඉතාම විෂ සහිත කෘෂි රසායන ද්‍රව්‍ය 05 ක් තහනම් කරන්න. රටේ භාවිතාවන කෘෂි රසායන ප්‍රමාණය සියයට 70 කින් අඩු කිරීමට අපට
    පුළුවන්කම ලැබුනා. ඒ සටන ජයගෙන තිබෙනවා. වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය ප්‍රතිකාර, ඖෂධ ප්‍රමිතියෙන් යුතුව ගෙන ඒමට පසුගිය කාලයේ අසමත් වෙලා තිබෙනවා. එය වහාම නිවැරදි
    කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප විසින් පසුගිය කාලයේ සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵල අනුව වකුගඩු රෝගයට හේතුවන හේතු කාරනා නිශ්චිතව අනාවරණය කරගෙන තිබෙනවා.
    ඉදිරි වසර 4-5 කාලය තුලදී අතිගරු ජනාධිපතිතුමාගේ පළමුවැනි රාජ්‍ය පාලන සමය ඉවර වන විට වියළි කළාපීය කෘෂිකාර්මික වකුගඩු රෝගය මුලිනුපාටු දමන්න, ශ්‍රී ලංකා භූමියෙන් තුරන්
    කිරීමට හැකි බවට බලවත් විශ්වාසයක් අප තුල තිබෙනවා.”

    අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මනාප ඡන්ද 134,000 ලබාගනිමින් ප්‍රථම වරට පාර්ලිමේන්තු වරම් හිමි කරගත් මහාචාර්ය චන්න
    ජයසුමන මහතා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබද මහාචාර්යවරයෙක් වන අතර, මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ ලාබාලතම මහාචාර්යවරයා ද වන්නේ මහාචාර්ය සේනක
    බිබිලේ මහතාගේ එම වාර්තාව බිදහෙළමිනි. රජරට වකුගඩු රෝගය සම්බන්ධව සුවිශේෂි දායකත්වයක් ලබාදෙමින් දෙස් විදෙස් මට්ටමේ පර්යේෂණ පත්‍රිකා පළකරමින් රෝගීන් සදහා ව්‍යාපෘති
    ක්‍රියාත්මක කරමින් සහ සාකච්ඡා සිදුකරමින් වසර 15 ක පමණ කාලයක් දැවැන්ත මෙහෙවරසක් ද එතුමා විසින් සිදු කොට ඇත.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය
    විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya