අසරණ පවුල් සඳහා ආධාර ලබාදීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටි ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතියෙකු වන මාලින් රාජපක්ෂ මහතා මෙම නිවාස දෙක ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට මූල්‍යමය ආධාර ලබාදුන් අතර, 21 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් මහතාගේ අධීක්‍ෂණය සහ සම්බන්ධීකරණය මත දියත් කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා එම බලසේනාව යටතේ ස්ථාපිත 7 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සහ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හී තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
අභිනවයෙන් ඉදිකරන ලද මෙම නිවාස දෙකෙහි යතුරු වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී නිවාසලාභී පී. චන්ද්‍රසේකර මහතා සහ එස්. පී. ලයනල් සෙනෙවිරත්න මහතා වෙත භාරදෙනු ලැබිණි. නිවාසලාභී, මිහින්තලේ, සිප්පිකුලම, සමාධිගම ප්‍රදේශයේ පදිංචි පී. චන්ද්‍රසේකර මහතා සිය රෝගාතුර වූ බිරිඳ සහ දරුවන් සිව්දෙනා සමඟ දිගු කලක් තිස්සේ ස්ථීර නිවසක් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ ජීවිත් විය. එමෙන්ම අනෙක් නිවාසලාභී, තන්තිරිමලේ, තුප්පිටියාව ප්‍රදේශයේ පදිංචි එස්.පී ලයනල් සෙනෙවිරත්න මහතා ද සිය බිරිඳ සහ දරුවන් සිවුදෙනා සමගින් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් විය.
අභිනවයෙන් ඉදිකළ නිවාස දෙක නිවාසලාභින් වෙත භාරදීමේ අවස්ථාවේ දී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම නිවාසලාභීන් වෙත අත්‍යවශ්‍ය ගෘහ උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් කිහිපයක් ද ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවන් සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් මහතා, මිහින්තලේ දිස්ත්‍රික් ලේකම්, පරිත්‍යාගශීලී මාලින් රාජපක්ෂ මහතා, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ, 21 වන සේනාංකයේ හා 212 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරින්, 7 වන (ස්වෙච්ඡා) සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරින් මෙන්ම නිවාසලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඥාතීන් රැසක් සහභාගී වූහ.