ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රදේශයේ ජනතාව විසින් පැවැත්වූ පිළිගැනීම් මාලාවක් අතරතුරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
මේ වන විට ලංකාව තුළ භාවිතා කරන ඖෂධ වලින් සියයට අනූවක්ම විදේශ රට වලින් මෙරටට ගෙන එන ඒවා බවත්, ජනාධිපතිතුමා තමා හට මෙම අමාත්‍ය ධූරය භාරදුන් අවස්ථාවේ පස් වසරක සැලසුමකට ක්‍රියාකරමින් වසර පහකින් පසු ලංකාවට විදෙස් රටවලින් ගෙන එන ඇතැම් ඖෂධ නැවැත්වීමට කටයුතු කරන ලෙස පැවසූ බවත්, මේ වන විටත් ඒ සදහා සැලසුම් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග 17 වනදා පැවැත්වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. රුපියල් කෝටි ගණනක් වියදම් කර සේලයින් නිෂ්පාදනාගාරයක් මෙරට ඉදිකිරීමට එකගතාවයකට පැමිණියේ එම අවස්ථාවේදී බවත් ඔහු සිහිපත් කළේය.
අද වන විට එක සේලයින් බෝතලයක් හෝ අප රටෙහි නිපදවීමට අවශ්‍ය පහසුකම් නොමැති අතර, මෙතෙක් ඒ වෙනුවෙන් කටයුතු සිදුකර නොමැති බවත් පැවසුවේය.
පසුගිය වසර හතරක පහක කාලය තුළ අඩු මිලට ඖෂධ ලබාදෙන බව කියමින් ඔවුන් වෙත ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ලබාදෙමින් ජනතාව රැවටූ බවත්, එසේම අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක මිල අසාමාන්‍ය ලෙස ඉහළ යැවූ බවත් වැඩිදුරටත් පැවසුවේය.
එකල ඖෂධ ඒකාධිකාරයක් නොහොත් ඖෂධ මාෆියාවක් ගෙනයාම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බව සිහිකළ රාජ්‍ය අමාත්‍යවරයා, වර්තමානයේදී එම ඖෂධ මාෆියාව බිදහෙළමින් රටේ ජනතාව වෙත ප්‍රමිතියෙන් යුතු ඖෂධ, සාධාරණ මිලකට ලබාදීමට කටයුතු සූදානම් කරගෙන යන බවත්, සති කිහිපයකින් එහි ඵල ප්‍රයෝජන රටේ ජනතාවට භුක්ති විදිය හැකි බවත් ප්‍රකාශ කළේය.