ඒ මහතා මෙම අදහස් පළ කළේ, 21 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් හමුවූ අවස්ථාවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මෙම ආයතනය රටේ ආර්ථිකයට ඉතාම වැදගත් ආයතනයක්. කොරෝනා වසංගතයෙන් පසුව දේශීය ආර්ථිකයට ශක්තිමත් දායකත්වය ලබාදෙන ආයතනය බවට පත්කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉලක්ක ගත වැඩපිළිවෙලක් 2021 සිට ආරම්භ කළ යුතුයි. ඒ වගේම ආයතනයේ ඉදිරි කටයුතු හා සුභසාධනය පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් සකස් කර ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ වගේම මගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ විදේශ රැකියාලාභීන්ගේ විධිමත් තොරතුරු පද්ධතියක් ඇතිකිරීමයි. මම ඉල්ලීමක් කරනවා ඉතාමත් ඉක්මණින් සෑම රටකම කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණිකව ලබාගන්න පුළුවන් වැඩපිළිවෙලක් මාස කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක කරන්න.
අනිත් පැත්තෙන් සුභසාධනය පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන්න ඕනි. විදේශ ගත ශ්‍රමිකයෙකුගේ අරමුණ තමයි විදේශ රැකියාවෙන් පසුව ලංකාවට ඇවිත් ජීවිත් වෙන්න ක්‍රමයක් සකසා ගැනීම. කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණෙන ශ්‍රි ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ගේ රැකියා අහිමිවීම විශාල ගැටළුවක් වෙලා. අනිත් අභියෝගය තමයි ජනවාරි මාසයේ සිට රැකියා ප්‍රශ්නයක් එනවා. 2021 සිට විදේශ රැකියා ක්ෂේත්‍රයේ අරුමයක් ඇතිකිරීම පිළිබඳව අප සියළු දෙනා කටයුතු කළ යුතුයි. ඒ වගේම මැදපෙරදිග රටවල රැකියාවලට අමතරව ජපානය හා කොරියාව වැනි රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමුකිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.
අද ආසියාවේ කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යද්දි වසංගතය තුරන් කරපු රටක් වශයෙන් වෙනත් රටවල රැකියා කෝටාවන් අපේ රටට ලබාගත යුතුයි. එම රටවල නියෝජිතයින් සමග සෘජුව සාකච්ඡා කරමින් වැඩි වශයෙන් රැකියා අපේ රටට ලබාගන්න මම යෝජනා කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන යමුනා පෙරේරා හා පී. සපුතන්ත්‍රි යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් රැසක් එක්ව සිටියහ.