2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක් වූ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2020 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,090 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරි මාසවල දී එය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන වැඩි දියුණු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ අමාත්‍යාංශය ඒකාබද්ධ පියවර කිහිපයක් ගෙන ඇත. නව වෙළඳපළ ඉඩ ප්‍රස්ථා හඳුනා ගැනීම, වෙළඳපළ සෝදිසි පිළිබඳ තොරතුරු බෙදාහරිමින් දැනුවත් භාවය ඇති කිරිම, සැපයුම්දාම ගැටළුවලට විසඳුම් ලබාදීම, වෙබ්නාර් සාකච්ඡා හරහා ධාරිතා සංවර්ධනය වැඩි දියුණු කිරීම සහ දැනට සිටින අපනයනකරුවන්ට තම අපනයන සිදු කිරීමට සහය ලබාදීම සඳහා ව්‍යාපාරික සබඳතා නිර්මාණය කිරීම මෙම පියවරවලට ඇතුළත් වෙයි.
මාර්තු මස අග භාගයේ දී ආරම්භ වූ කොවිඩ්-19 අගුළු දැමීමේ කාලය තුළ දී, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, ඔවුන් ආවරණය කළ වෙළඳපළවලට අදාළ යාවත්කාලීන කිරීම් සහ ප්‍රවණතා පිළිබද තොරතුරු සැපයීම අඛණ්ඩව සිදු කරන ලදි. වසංගත කාල සීමාව තුළ දී පැවති වෙළඳපළ ඉඩ ප්‍රස්ථා මෙන්ම වෙළඳ හා ප්‍රතිපත්ති රෙගුලාසිවලට සිදු කරන ලද වෙනස්කම් ද මෙම යාවත්කාලීන කිරීම්වලට ඇතුළත් වූ අතර එමඟින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට එම තත්ත්වවලට අනුවර්තනය වීමට හැකියාව උදාවිය. මෙම යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය නිසා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට විදේශ අමාත්‍යංශය සහ එහි විදේශ දූත මණ්ඩල ජාලය හරහා තම සැපයුම් ධාරිතා පිළිබඳ තොරතුරු ගැනුම්කරුවන් සමඟ අප්‍රමාදව බෙදාහදා ගැනීමට හැකි විය. මේ ආකාරයෙන් හඳුනාගන්නා ලද සහ ප්‍රයෝජනයට ගන්නා ලද අපනයන ඉඩප්‍රස්ථා, විශේෂයෙන්, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම්, පුද්ගලික ආරක්ෂක උපකරණ, රබර් අත් වැසුම්, අත් සනීපාරක්ෂක දියර, තේ හා ආහාර නිෂ්පාදනවලට අදාළ විය. ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා පහසුකම් සලසන්නා වශයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය, විද්‍යුත් තැපෑල සහ එහි වෙබ් අඩවිය හරහා වෙළඳපළ යාවත්කාලීන කිරීම් අපනයනකරුවන් අතරේ සීඝ්‍රයෙන් බෙදා හැරීමට කාර්යක්ෂමව කටයුතු කළ අතර, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සහය ඇතිව හා විදේශීය වෙළඳ මණ්ඩල හා එක්ව වෙබ්නාර් සාකච්ඡා මාලාවක් සංවිධානය කිරීම මඟින් අපනයකරුවන් සහ ආනයනකරුවන් සම්බන්ධ කිරීමට තොරතුරු තාක්ෂණය පදනම් කරගත් විසඳුම් යොදා ගන්නා ලදි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අගුලු දැමීමේ තත්ත්වය ලිහිල් වෙමින් පැවතිය ද, විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලයේ සහයෝගය ඇතිව වෙළඳපල ප්‍රවණතා තක්සේරු කරමින් සහ ප්‍රතිචාර දක්වමින් ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතථ්‍ය ලෙස (virtually) සම්බන්ධ කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරයි.
අපනයනකරුවන් විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කිරීම සඳහා භෞතික වෙළඳ ප්‍රදර්ශන සඳහා විකල්ප මාර්ගයක් ලෙස අතථ්‍ය වෙළඳ සල්පිල් සහ වසර පුරා පැවැත්වෙන අතථ්‍ය සාප්පු සංකීර්ණවල ප්‍රදර්ශන පිළිබඳව සලකා බලනු ලැබේ.
විදුලි හා ඉලෙක්ට්‍රොනික, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, මුද්‍රණ, බෝට්ටු සහ නැව් නිපදවීම, පොල්, පිඟන් මැටි සහ පෝසිලේන්, සැපයුම් සේවා සහ සැපයුම් දාම, සමුද්‍ර හා අක්වෙරළ ඉංජිනේරු සහ ආයුර්වේද සහ ශාකසාර නිෂ්පාදන අංශ සඳහා වෙබ්නාර් සාකච්ඡා මෙතෙක් සංවිධානය කර ඇති අතර, එමඟින් අවසාන වශයෙන් අතථ්‍ය ව්‍යාපාර-ව්‍යාපාර (B2B) රැස්වීම් සඳහා මඟ පෑදෙනු ඇත.
“එක් ගම්මානයක් - එක් නිෂ්පාදනයක්” (OVOP) සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමේ අරමුණ ඇතිව, විදේශවල වෙසෙන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින්ගෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ අමාත්‍යාංශය විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ එක්ව කටයුතු කරයි.
කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් මඟහරවා ගැනීමටත්, 2020 දී ඇමරිකානු ඩොලර් බිලියන 10.75 ක සංශෝධිත අපනයන ඉලක්කය සපුරා ගැනීමටත් මෙම පියවර ගෙන ඇති අතර, රජයේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම සහ තාක්ෂණය උපයෝගී කර ගැනීම පිණිස අනෙකුත් දේශීය හවුල්කරුවන් මෙන්ම හවුල්කාර රටවල් සහ සංවිධාන සමඟ ද සමීපව කටයුතු කිරීම සඳහා තවදුරටත් පියවර ගනු ලැබේ.