මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    මත්ස්‍ය ආනයනයට වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට ජනපතිගෙන් සැලැස්මක් ....

    අගෝස්තු 31, 2020

    Ø රටට අවශ්‍ය නැව් නිෂ්පාදනයට දේශිය ආයතන ...

    Ø ග්‍රාමීය ප්‍රෝටීන් අවශ්‍යතාව මිරිදිය මත්ස්‍ය වගාවෙන් ...

    Ø විසිතුරු මත්ස්‍ය අපනයනය දිරිමත් කෙරේ ...

    Ø කෘත්‍රීම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන මුහුදු සීමාවේම ...

    මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැය කර තිබේ. ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට මෙතෙක් දී ඇති දායකත්වය 1%කි. රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතුයැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    විසිතුරු මත්ස්‍ය අපනයනයේදී මිරිදිය මත්ස්‍යයින් 95%ක් සහ කරදිය මත්ස්‍යයින් 98%ක් දේශීයව අභිජනනය කර අපනයනය කෙරේ. විසිතුරු මත්ස්‍ය වර්ග 700කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කිරීමේ හැකියාව ඇතැයි විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවෝ පෙන්වා දුන්හ. මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින් අභිජනනය කර අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

    ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    රට අභ්‍යන්තරයේ ඇති වැව් සංඛ්‍යාව 18,000ක් පමණ වේ. එහෙත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට යොදාගෙන ඇත්තේ 1500කට ආසන්න වැව් සංඛ්‍යාවකි. කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මිරිදිය මසුන් බෝ කළ හැකි වැව් හඳුනාගෙන ග්‍රාමීය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීය හැකියැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනයට මත්ස්‍ය පැටව් 90,000ක් වැව්වලට මුදාහැරීමට සැලසුම් කර තිබේ.

    අධිශීතකරණ සහ සනීපාරක්ෂක පහසුකම් සහිත බහුදින යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව සහ ධීවරයන්ට වෘත්තියේ පුහුණුවක් දීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.

    ධීවරයන්ට හෝ යාත්‍රාවලට හෝ සේවා සැපයීමට නොහැකි මට්ටමට ධීවර සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි අනාවරණය කෙරිණ. 2017 වසරේදී ඉදි කළ අධිශීතාගාර අකර්මන්‍ය වී තිබේ.

    ක්‍රියාත්මක තත්ත්වයේ ඇති අධිශීතාගාර පසුගිය පාලන සමයේදී වසර 33ක් වැනි දීර්ඝ කාලයකට පෞද්ගලික ව්‍යාපාරිකයින්ට බදු දී ඇතැයි ධීවර කර්මාන්තයේ නිරත පිරිස් සඳහන් කළහ.

    එය ධීවර කර්මාන්තය බිඳ දැමීමේ අරමුණින් කරන ලද්දකැයි ඔව්හු කියා සිටියහ.

    කරවල නිෂ්පාදනයේදී මෙරට සාගරයෙන් සපයා ගත නොහැකි මත්ස්‍යයින් පමණක් ආනයනය කළයුතු බව ජනාධිපතිතුමා කීය.

    මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න ප්‍රවර්ධනයට හඳුනාගත් ස්ථාන 172ක කෘත්‍රීම අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැදිරි, බස් රථ සහ ධීවර යාත්‍රා සාගර පතුළේ තැන්පත් කිරීමට තීරණය කෙරිණ.

     

    ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය මත්ස්‍ය අවශ්‍යතාව දේශීයව සපුරාගන්නැයි ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    මෙරට ධීවරයින්ට සහ ධීවර කර්මාන්තයට සහයවීමට අවශ්‍ය නැව් දේශීය ආයතන මගින් නිෂ්පාදනය කළ යුතුයැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

    රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරිහූ, ධීවර කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදකයෝ සහ ව්‍යාපාරිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya