මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නව රුධිර කාන්දුපෙරණ ඒකකය විවෘත වේ

    සැප්තැම්බර් 06, 2020

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නව රුධිර කාන්දුපෙරණ ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය නව රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අතර, අනතුරුව සෞඛ්‍ය අමාත්‍යතුමිය රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් නිරික්ෂණය කිරිම සදහා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

    මෙම රෝහලේ වකුගඩු ප්‍රතිකාර සේවා ආරම්භ කර ඇත්තේ මීට මාස 06 කට පෙර වකුගඩු සායනය ආරම්භ කිරීමත් සමගය. මෙම නව රුධිර කාන්දුපෙරණ ඒකකය නවීනතම ඇඳන් 13 කින් සමන්විතය. එමෙන්ම නවීනතම වෛද්‍ය උපකරණ සහ යන්ත්‍ර මෙම ඒකකය තුල ස්ථාපිත කොට ඇත.

    මෙම රුධිර කාන්දු පෙරණ ඒකකය මගින් පළමු වතාවට හීමෝඩියාෆිල්ටරේෂන් (Heamodiafiltration) තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මෙම නව රුධිර කාන්දුපෙරණ ක්‍රමය හෘදයාබාධ සහ වකුගඩු අකර්මණ්‍ය රෝගීන්ට වඩාත් ආරක්ෂිත සහ සුව පහසු ක්‍රමවේදයක් වේ. මෙම ඒකකයේ ඇති උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 500 ක් පමණ වන අතර, මෙම උපකරණ පැය 3 සිට 4 දක්වා වැඩ මුරයක් ක්‍රියාත්මක කළ විට මසකට රුධිර කාන්දුපෙරණ 500 කට අධික ප්‍රමාණයක් සිදු කිරීමට හැකියාව ඇත. මෙම නව රුධිර කාන්දුපෙරණ ඒකකය මගින් දිළිදු සහ අසාධ්‍ය රෝගීන්ට මූලික කාන්දුපෙරණ කටයුතු නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර, මෙහි සේවක මණ්ඩලයට පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන්, හෙදියන්, කාන්දුපෙරණ හෙදියන් සහ තාක්ෂණික සේවක මණ්ඩලය ඇතුළත් සේවකයින් 20 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වේ.

    නව රුධිර කාන්දුපෙරණ ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයට එක් වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “ඉදිරි දැක්මක්, ඉළක්කයක් තිබෙන නායකයෙකුගේ වටිනාකම මේ රෝහලට පැමිණියාම අපට දැනෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේ එතුමාගේ දැක්ම කුමක් ද යන්න අපට වටහා ගැනීමට මෙම රෝහල කදිම උදාරණයක්. මේ රට ඉහළට ඔසවා තැබීමට අතිගරු ජනාධිපතිතුමා ඉළක්කගතව වැඩ කරන ආකාරය මෙම ව්‍යාපෘතිය මගින් පෙන්වා දෙනවා. මේ කළාපයේ තිබෙන හොදම රෝහල බවට මෙම රෝහල පත් කිරීමේ ඉළක්කය ඇතිවයි මෙම රෝහලේ සැළසුම් කොට ඇත්තේ.”

    “අපේ මාතෘ භූමිය ඉහළ තැනකට ඔසවන්න ගත් එක අංගයක් විදිහට මෙම සුවිසල් රෝහල පෙන්වා දිය හැකියි. මා විශ්වාස කරනවා ජාතියට සම්පතක් වූ මෙම රෝහල ඉහළම මට්ටමකින් පවත්වාගෙන යාම ජාතියේ වගකීමක් කියලා. අද මෙතනට පැමිණිලා ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, ඒ සම්බන්ධයෙන් ඊලගට ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු වන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සහ විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා. එම තිදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් විදිහට සහ ඔබතුමන්ලා පැත්තෙන් තිදෙනෙකු ද සමග එකතු වී මේ රෝහල ඉදිරියට සංවර්ධනය විය යුතු ආකාරය, පහසුකම් නැංවීම සහ ලොව දියුණු රෝහලක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න. ඒ සම්බන්ධයෙන් මසකට එක් වතාවක් සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මම ද මෙම කමිටුව සමග එක්ව කටයුතු කරන බව ද කියන්න කැමැතියි.”

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල 2019 වසරේ දී විවෘත කරන ලද අතර, මෙම රෝහදල ඇඳන් 814 කින් සහ සුපොඛභෝගී කාමර 50 කින් යුක්තය. හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඇඳන් 40 කින් සහ බාහිර රෝගී සායන උපදේශන කාමර 120 කින් ද යුක්තය. නවීන තාක්ෂණික උපකරණ වලින් ද යුක්ත ‌මෙම රෝහලෙන් බාහිර රෝගී ප්‍රතිකාර සේවා, සායන සේවා, නේවාසික රෝගී ප්‍රතිකාර සේවා, රසායනාගාර සේවා ලබාගැනීම සදහා දෛනිකව විශාල පිරිසක් පැමිණෙන බව මෙහිදී අනාවරණය විය.

    මෙම අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා I) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නිලධාරීන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල එක්ව සිටියහ

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya