වත්මන් රජය නිවාස යෝජනා ක්‍රම දියත් කරනු ලබන්නේ රටේ භූමිය ඉතිරි කර ගනිමින් බවත්, පසුගිය රජය නිවාස ඉදිකරනු ලැබුවේ වන රක්ෂිතවල, අලිමංකඩවල සහ වැව් තාවුල්වල බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, ගම්පහ මෙන්ම රටේ අනෙක් දිස්ත්‍රික්කවලද මහල් නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
හිටපු නිවාස අමාත්‍යවරයා වනසතුන්ට අයත් තැන්වල මිනිසුන් පදිංචි කොට වනසතුන් මෙන්ම මිනිසුන්ද අනාථ කළ බවත්, කිසියම් අයෙක් පරිසරයට හානි කරනවා නම් ඔහුට දඩුවම් ලබා දිය යුතුය යන මතයේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
කඩිනමින් තීන්දු තීරණ අරගෙන වැඩ කිරීමට රට තුළ සෘජු නායකත්වයක් තිබිය යුතු බවත්, එදා තීන්දු ගැනීම දෙපැත්තට ඇදුනු නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කිරීමටවත් කෙනෙකු නොසිටි බවත්, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පහ, යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ යෝජිත නව මහල් නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිත ඉඩම නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
නිවාස ව්‍යපෘතිය ඉදි කිරීමට නියමිත ඉඩම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහල් නිවාස ව්‍යපෘතිය ඉදිකිරිම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිළධාරීන් සමග මෙහිදී සාකච්ඡා කරන ලදි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩමේ මුළු භූමි ප්‍රමාණය අක්කර 3 කි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.
මෙම ඉඩම නිරීක්ෂණය කිරීමෙන් පසුව අත්තනගල්ල, රන්පොකුණගම ගුරු ගම්මානයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමටද අමාත්‍යවරයා එක්විය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.