පසුගිය වකවානුව තුළ පොහොර සහනාධාර ප්‍රතිපත්තිය වරින් වර වෙනස් කිරීමත්, පොහොර ආනයනය කරනු ලබන සමාගම් වෙත නිසි පරිදි මුදල් නොගෙවීමත්, ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් තොර වූ පොහොර වෙළදපොළට පැමිණීමත් හේතුවෙන් ගොවීන්ට විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවී ඇත.
එබැවින් එම තත්ත්වය මගහරිමින් 2020/21 මහකන්නයේ සිට ගොවීන් වෙත පොහොර ලබාදීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සදහා පහත සදහන් පරිදි කටයුතු කිරීමට සැලසුම් කර ඇත.
වී ගොවීන් හට නොමිලේ පොහොර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම සහ පරිසර හිතකාමී පොහොර වී ගොවීන් අතර ප්‍රචලිත කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
2020/21 මහ කන්නය සදහා වී ගොවීන්ට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 230,000ක් රජයේ පොහොර සමාගම් හරහා කඩිනමින් ආනයනය කිරීම.
වී වගාව හැර අනෙකුත් වගාවන් සදහා 2020/21 මහ කන්නය වෙනුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 332,000ක ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්, ඒ සදහා පොහොර සමාගම් සතුව පවතින්නේ මෙට්‍රික් ටොන් 40,000ක පොහොර ප්‍රමාණයක් පමණක් බවත්, සැලකිල්ලට ගෙන තවදුරටත් අවශ්‍ය මෙට්‍රික් ටොන් 300,000 ක පමණ පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමට එකගතාවය පළකර ඇති පොහොර සමාගම් වෙත අවසර ලබාදීම.
සුදුසුකම් ලබන වෙනත් සමාගම් සදහාද මෙට්‍රික් ටොන් 5000ක උපරිමයකට යටත්ව 2020/21 මහ කන්නය සදහා පොහොර ආනයනය කිරීම පිණිස අවසර ලබාදීම.
වී හැර අනෙකුත් වගාවන් සදහා අවශ්‍ය පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 1500 ක සහනාධාර මිලකට ඕනෑම ගොවියෙකුට විවෘත වෙළදපොළෙන් ලබාගැනීමට අවස්ථාව ලබාදීම.
ඒ අනූව, ඉහත සදහන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් අගමැතිතුමා සහ කෘෂිකර්ම ඇමතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.