කල්මුණේ මූලික රෝහලෙන් ප්රතිකාර ලබා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක වැඩිදුර ප්රතිකාර ලබන මෙම පිලිපීන ජාතිකයා මුණගැසුන ලුතිනන් කේ.ජී.ඒ.එස්.එම් විජේරත්න මහතා, නායක ඉංජිනේරු කාර්මික ඩීඑල්කේ මුදියන්සේ මහතා සහ බල නාවික ඩබ්ජීජීයූ සේනාරත්න මහතා යන නාවික පුද්ගලයින් තිදෙනා තම අත්දැකීම් ඔහු සමඟ බෙදා ගන්නා ලදි.
ගිනිදැල් මැද දුමාරයෙන් පිරීතිබූ නෞකාවේ ඉහල මාලයක පිවිසුම් මාර්ගයක් තුළ වැටී සිටි තමාව ප්රධාන මාලය වෙත ගෙනඒම ඉතා අසීරු කාර්යයක් වූ බවත් කෙසේ හෝ නාවික හමුදා පුද්ගලයින්ගේ දැඩි කැපවීම හා උත්සහය මත ඉහල මාලයේ සිට පහත පිහිටි ප්රධාන මාලය වෙත තමාව ගෙන ඒමට ඔවුන්ට හැකි වීම තමාගේ වාසනාවට සිදු වූවක් බව මෙම පිලිපීන ජාතික තුන්වන ඉංජිනේරුවරායාගේ අදහස විය.
මෙම අනතුර වාර්තාවූ පසුව පළමුවෙන් එම ස්ථානය වෙත ලඟා වූ ශ්රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ අණදෙන නිලධාරිගේ ක්ෂණික තීරණ ගැනීම සහ දැඩි අධිෂ්ඨානය මගින් වටිනා මිනිස් ජීවිතයක් ගලවා ගැනීමට නාවික හමුදාවට හැකි විය. ඒ පිළිබඳව තම හෘදයාංගම ස්තූතිය තමාගේ දිවි ගලවාගත් නාවික පුද්ගලයින් තිදෙනාටත් සමස්ථ නාවික හමුදාවටත් පුදකළ ආපදාවට පත් නෞකාවේ තුන්වන ඉංජිනේරුවරයා මේ සම්බන්ධයෙන් සමස්ථ ශ්රී ලාංකික ජනතාවටද සිය ස්තූතිය පුද කර සිටින ලදි.