නැගෙනහිර පළාතේ පවතින ගැටලු හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාවේ පූජක පියතුමන්ලා හා රජයේ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද ( 16) දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ.
නැගෙනහිර පළාතේ තිරුක්කෝවිල්, කල්මුණේ, අම්පාර යනාදී ප්‍රදේශයන් හි පාසල්, නිවාස, රෝහල්, ගමනාගමනය, අධ්‍යාපන යන ක්ෂේත්‍රයන් හි පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
අම්පාර නගර සංවර්ධනය, ඇඟළුම් හා වෙනත් කර්මාන්තශාලා සහිත කාර්මික පුරයක් ඇති කිරීම, පසුගිය කාලයේ නැවතී ඇති ගමනාන්ත දක්වා නව බස්රථ සේවාවන් ආරම්භ කිරීම, දේවස්ථාන නියාමනයක් සහිතව ගොඩනැගීම, කිතුණු ආගමික ගුරු පුරප්පාඩු පිරවීම හා දරුවන් කිතුනු පාසල්වලට ඇතුළත් කිරීමේදී ඇති වන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.
අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පී.එස්.චමීර සිල්වා පියතුමා සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ඇන්ටන් පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චතුරි පිංතු, නැගෙනහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එච්. ඊ. එම්. ඩබ්ලිව්. ජී. දිසානායක, නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් අයි. කේ. ජී. මුතුබණ්ඩා යන මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.