කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට සහ මගී ජනතාවගේ ගමන් පහසුකම් සපුරාලීම සඳහා ලබාදිය හැකි ලාභදායී, පරිසර හිතකාමී හා තිරසාර විසඳුම් ලෙස දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය කිරීමේ මුලික අදියර ලෙස කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කරන ලදී. එහිදී කැළණිවැලි දුම්රිය මාර්ගයේ ජීවත් වූ අනවසර පදිංචිකරුවන් හට නව නිවාස ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කළ අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ඔස්සේ පළමු නිවාස 384කින් යුත් මාලිගාවත්ත ලක්හිරු නිවාස සංකීර්ණය ඉදි කරන ලදී.
ඒ අනුව මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකිරීම් සඳහා එයට ආසන්නතම කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ ලොකෝ මංසංධියේ සිට සීවලිපුර පාසල් පටුමග දක්වා කොටසෙහි පදිංචි නිවාස ඒකක 261 ක පදිංචිකරුවන් අතරින් දෙවන කණ්ඩායම ලෙස නිවාස ඒකක 110ක පුද්ගලයින් සඳහා යතුරු භාරදීම (29) මෙහිදී සිදු විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට නාගරික සංවර්ධන ලේකම් ලෙස කටයුතු කළ අවධියේදී ආරම්භ කළ අනවසර පදිංචිකරුවන් හට නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය අද වනවිට වඩාත් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමට හැකියාව උදා වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙහිදී පැවසීය.
මෙරට ඉඩම් හිමිකමක් නොමැතිව අනවසර පදිංචිකරුවන් ලෙස ජීවත් වූ ඔබ අද දිනයේ පටන් නිවසක් හිමි පවුලක් බවට පත්වන අතර ඔබට ඉහළ ජීවන මට්ටමක් ළගා කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ද මෙයින් විවර වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
රජය නිරන්තරයෙන් සාමාන්‍ය ජනතාවගේ සුබසිද්ධිය අපේක්ෂා කරන බවත් කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතය තුළ මෙතෙක් අනාරක්ෂිත ලෙස පදිංචි වී සිටි ඔබ එම පරිසරයෙන් ඉවත් කොට වඩාත් ආරක්ෂිත සුවපහසු නිවාසයක් ඔබ හට නොමිලේ ලබා දීමට කටයුතු කර ඇති බව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
එසේම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා, දුම්රිය දෙපාර්තමේන්තු සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.