පරිසර දූෂණයට ඉවහල් වන නිවෙස් වල ගොඩ ගසා ගෙන සිටින භාවිතයෙන් ඉවත් කර ඇති විද්යුත් අපද්‍රව්‍ය E- WASTE බැහැර කිරීමට විදිමත් වැඩපිලිවෙලක් නොතිබීම නිසා මහජනතාව ඉතාමත් පීඩාවට පත්ව සිටින බව පරිසර අමාත්‍යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය
එම නිසා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව දිවයිනේ 650 ක් පමණ වන සියළුම තැපැල් කාර්යාල මගින් විද්යුත් අපද්‍රව්‍ය එක්රැස්කිරීමේ සතියක් පසුගිය 02 දින සිට ආරම්භ කරනු ලැබීය. එහි අවසන් දිනය අද (10) යෙදී තිබෙන බවත් එම නිසා නිවාස වල ගොඩ ගසාගෙන සිටින ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සියල්ලම ලඟම තැපැල් කාර්යාලය වෙත භාරදෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
( 09) දින පෙරවරුවේ අගුණුකොලපෑලැස්ස මධ්‍යම තැපැල්කාර්යාලයේදී ගෘහස්ත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ වැඩසටහනක් පැවති අතර එම අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කල අමාත්‍යවරයා කියා සිටියේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල අඩංගු වන ඊයම්, කැඩ්මියම්, ආසනික් වැනි බැරලෝහ වර්ග නිසා මේ වන විට දැවැන්ත පරිසර හානියක් සිදුවන බවයි. ජංගම දුරකථනයකින් ඉවත් කරන බැටරියක් ජල මූලාශ්‍රයකට එක් වුවහොත් ජල ලීටර් 30 000 ක් දූෂණය වන බව පර්යේෂණ මගින් තහවුරුවී තිබේ. එමෙන්ම මෙම ජලය පරිහරණය නිසා වකුගඩු අකරණිය වැනි රෝග රැසක් වැළැඳීමට ඉඩ ඇති අතර. විශේෂයෙන්ම විකිරණ ද්‍රව්‍ය මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල අන්තර්ගත වන බැවින් පිලිකා, ස්නායු ආබාධ සහ වෙනත් මිනිස් සිරුරේ ඉන්ද්‍රියයන් රෝග වලට ගොදුරුවීමේ හැකියාව මේ වන විටත් ඉහල ගොස් ඇති බව අවධාරණය කලේය.
එම නිසා තැපැල් කාර්යාල ආශ්‍රිතව මෙම වැඩ පිළිවෙල ආරම්භ කරණ ලද්දේ හැම කෙනෙකුටම පහසුවෙන් තම නිවසේ ඇති විද්යුත් අපද්‍රව්‍ය භාරදීමට ඇති හැකියාව නිසා බැවින් අද දිනය තුළ තම නිවෙස් වල ඇති එවැනි අපද්‍රව්‍ය භාරදීමට පියවර ගන්නා ලෙස ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සතිය තුළ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල මගින් එවැනි අපද්‍රව්‍ය ටොන් සිය ගණනක් මේ වනවිට එක් රැස් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දුන් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.