1949 ඔක්තෝබර් මස 10 වන දින පාර්ලිමේන්තු පනතක් මඟින් ආරම්භ වන ලංකා යුද්ධ හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව බවට පත්වෙන්නේ 1972 වසරෙන් පසුව යි. එතැකින් ඇරඹි යුද්ධ හමුදාව ගෙවී ගිය වසර 71ක කාලයේ මාතෘ භූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය, ජනජීවිතවල සුරක්ෂිත භාවය සඳහා ජාතියේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටු කළ හා ඉටු කරන සේවාව අභිමානවත්ය.
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවත්වීමේ නිදහස, සාමාජීය, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් සියල්ලට විශාල තර්ජන එල්ල කළ බෙදුම්වාදී ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීමේ නියමු බලවේගය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළ බව නොරහසකි. එසේ සිය මාතෘ භූමියේ ආරක්‍ෂාව උදෙසා දිවි හිමියෙන් සුවිශාල කැප කිරීම් සමුදායක් ඉටුකළ හා ඉටු කරන යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ගේ මෙහෙවර අගය කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර එක් ධජයක සෙවණ යටතට රැගෙන ඒමේ සාමකාමී දේශයක් තුළ සහජීවනයේ මුල් පුරුක් බවට පත්වීමට යුද්ධ හමුදා රණවිරුවන්ගේ අප්‍රතිහත ධෛර්ය හා ශක්තියට හැකියාවක් ලැබිණි. ආත්ම විශ්වාසය පෙරදැරිව ශ්‍රී ලංකාව තුළ නව පුනරාගමනයක් සනිටුහන් කරමින් යුද්ධය ජයග්‍රහණය කිරීමටත්, රටට සාමය උදාකර දීමටත් කටයුතු කළ වීරෝධාර යුධ හමුදා රණවිරුවන්ට සාඩම්බර 71 වන සංවත්සරය සමරන අද දිනයේද ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය.
ඔවුන් අප මෙසේ සැමරිය යුත්තේ ලොව දරුණුතම ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ නිසාම පමණක් නොව, අසීරුවෙන් දිනා ගත් විජයග්‍රහණය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ශ්‍රී ලංකාව ජාතියක් වශයෙන් මුහුණ දෙන ඕනෑම ගැටළුවකදී පෙරමුණ ගැනීමටත් ඔවුන් නොපැකිළිව ඉදිරිපත්වන නිසාය.
වර්තමානයේ ලොවක් වශයෙන් මුහුණ දී ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ එය පාලනය කිරීමේ කාර්යයේ ඉදිරි පෙළ සොල්දාදුවන් ලෙස රාජකාරිය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ හදවතින් ඔවුන් කරන කාර්යය සුළුපටු නොවේ.
ඒකීය රාජ්‍යක් ලෙස ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට හා රටේ සංවර්ධන කාර්යයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයට ලබා දෙන දායකත්වය සුවිශාලය. එකී දායකත්වය හමුවේ අප සියලු දෙනා ඇප කැප විය යුත්තේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් හෙට දිනයේ ගොඩ නැගීමයට. මන්ද, ජීවිත අත් පා අහිමි කර ගනිමින් ආබාධිත තත්ත්වයට පත්ව සිටින, මව්බිම වෙනුවෙන්
දිවිපිදූ සියලුම රණවිරුවන්ගේ නාමයට කළ හැකි උතුම්ම ගෞරවය හා උපහාරය එය නිසාවෙනි.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය