නැවත රට තුළ උද්ගත වී තිබෙන කොරෝනා තත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එම පළමු රෝගියා පිළිබඳව වාර්තා වූ සැණින් රෝගියාට එම රෝගය ඇති වූයේ කෙසේදැයි සෙවීම සඳහා පරීක්ෂණ ඇරඹු බවත් මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා 1500 පමණ සේවකයින් නිරෝධායන මධ්‍යස්ථානයන්ට ගෙනයාම සහ සියළු දෙනා පී.සී .ආර් පර්යේෂණයන්ට යොමු කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරිය සඳහන් කළේය.
පළමු රෝගී කාන්තාවට රෝගය වැළඳීම සම්බන්ධයෙන් දැනට තොරතුරු රැසක් ලැබී ඇති බවත් එම තොරතුරු තහවුරු කර ගත් වහාම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් ලබා දුන් උපදෙස් අනුව රජය සෑම විටම කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් දිනපතා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කරන බවත් ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැහැදිළි කළාය.
පසුගිය මාස කිහිපයේ දී සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවූ බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරිය, මැද පෙරදිග ඇතුළු වෙනත් රටවල සිටි විදේශශ්‍රමිකයින් විවිධ ඉල්ලීම් සිදු කළ අතර ඒ අනුව එම විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවද ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් ගතව සිට ප්‍රතිකාර ගත් බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
මේ වන විටත් ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට සහන සැළසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සළසා ඇති බවත් ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශයන්ගේ ජීවනෝපාය අහිමි වූ පවුල් වෙත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ තීරණය පරිදි පසුගිය සමයේ මෙන් රුපියල් 5000/- දීමනාව ලබා දීමට කටයුතු කළ බවද අමාත්‍යවරිය සඳහන් කළාය.