ධීවර කාර්මිකයින්ට හා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී දිවයින පුරා ධීවර වරායන් 20 ක් තිබෙන බව හෙළිවිය. මේ වන විට ඉන් පෑලියගොඩ තොග මතස්‍ය වෙළඳ සැළ සමග ඍජුව සබඳතා පැවැත්වූ ගාල්ල, බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් වසා දමා ඇත.
ඉන් බේරුවල ධීවර වරාය තුළ මතස්‍යයින් ගොඩබෑමට බහුදින යාත්‍රා 32 ක් සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 ක් තිබෙන අතර මෙම යාත්‍රා තුළ මාළු කිලෝ 350,000 ක් (තුන් ලක්ෂ පණස්දහසක්) තිබෙන බව ධීවර අමාත්‍යංශ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරියට පවසන ලදී. එබැවින් බහුදින යාත්‍රා තුළ තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට සැලසුමක් කඩිනමින් සකස් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය.
ඒ අනුව අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය බලධාරීන් විසින් සකසා අද දින ධීවර අමාත්‍යාංශය හරහා ධීවර වරායන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙසට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ මහතාට උපදෙස් දෙන ලදී. මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි.රත්නායක මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.