කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය 2020 ඔක්තෝම්බර් 26 සදුදා සිට යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇති අතර නුගේගොඩ සහ වේරහැර පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ද නැවත දැනුම් දෙන තුරු ජනතාවට විවෘතව නොපවතින අතර මීට අමතරව ඇදිරිනීතිය බල නොපැවැත්වෙන ප්‍රදේශ වල දිස්ත්‍රික් කාර්‍යාල විවෘත වන්නේ ඒ ඒ ප්‍රදේශ වල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව යැයිද දිලුම් අමුණුගම අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,
“දැනට කොළඹ පවතින තත්ත්වය හේතුකොට ගෙන කොළඹට පැමිණෙන දුරගමන් සේවා ගමන්වාර අවලංගු කිරීමට සෞඛ්‍ය අංශවලින් අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ කොළඹට එන දුරගමන් සේවයක් තිබුණානම් ලංගම සහ පෞද්ගලික බස්රථ ඒවා ගමන් ආරම්භයේ සිටම පිටත් වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට ඇඳිරි නීතිය තිබුණේ නිට්ටඹුවෙන් එහාට නම් ඒ බස් නිට්ටඹුව දක්වා ගමන් කරා. දැන් එහෙම කරන්නේ නෑ. ඒ බස්රථ ගමන් ආරම්භයෙන් ම අවලංගු කරලා තියෙන්නේ. ලංගම හා පෞද්ගලික සියලූම බස්රථ සඳහා මේක අදළයි. කොටුවේ සියලූම බස්නැවතුම් පොළවල් ඇඳිරි නීතිය පවතින සීමාවට ඇතුළත් වීම මෙයට එක් කාරණයක්.“