ශ්‍රී ලංකාව තුළ දේශීය ඖෂධ යොදා ගනිමින් විශේෂයෙන්ම රජයේ රෝහල් තුළ එම ඖෂධය හඳුන්වා දීමේ මූලික සාකච්ජාවක් පැවැත්වුණ අතර එහිදී මූලික එකඟතාවයක්ද ඇති කරගන්නා ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු දෙදෙනකු හා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරු දෙදෙනෙකු ද සාකච්ඡාවට සහභාගී විය.
“සුදර්ශනී පැණිය” නවීකරණය කර කොරෝනා රෝගය සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් පැහැදිලි කරන ලදී.
මෙම “සුදර්ශනී පැණිය” රෝහල්වල යොදා ගැනීම සඳහා මූලික සාකච්ඡාවක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සාකච්ඡාවට භාජනය කරන ලදී.
වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනූව කොරෝනා මර්දනය උදෙසා බටහිර වෙදකම පමණක් නොව ආයුර්වේද වෙදකමද යොදා ගත යුතු බව මෙහිදී ප්‍රකාශ කරන ලදී.
නවීකරණය කරන ලද “සුදර්ශනී පැණිය” උණ රෝගය, ප්‍රතිශක්තිකරණය නැංවීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව පර්යේෂණ තුළින් සමත් වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් පැහැදිලි කළේය.
එසේම ආයුර්වේද රෝහල්වල කොරෝනා රෝගීන් ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇමතිතුමා සමඟ මූලික එකඟතාවයට පැමිණි අතර ඉදිරියේ දී රෝගීන් දසදෙනෙකු බොරැල්ල ආයුර්වේද රෝහලට ඇතුළත් කිරීමේ මූලික එකඟතාවයකටද මෙහිදී පැමිණියේය.
ඒමෙන්ම ඉදිරියේ දී තවත් රෝගීන් විසිදෙනෙකුට එහි ඉඩකඩ ඇති බවද ප්‍රකාශ විණි.
මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.