මෙම දැන්වීම නිරෝධායන හා රෝග වැළක්වීමේ ආඥා පනත යටතේ පොලිස්පතිවරයාට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෙගුලාසියේ 37 වන වගන්තිය ප්‍රකාරව කරන ලද බලතල වලට අනුව සිදු කරන ලද නියෝගයක් බව අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටී.
එමෙන්ම, මෙකී නියෝගයට අනුව කිසිඳු ආකාරයකින් නිවෙසින් බැහැර වීම හෝ නිවසට පිටස්තරයින් ඇතුළුවීම තහනම් වන අතර එය වරදක් වේ. එම අලවන ලද දැන්වීමේ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, ග්‍රාම නිලධාරී, යුධ හමුදා නිලධාරී දුරකථන අංක ඇතුළත් වේ. ඒ අනුව, යම් කිසි අවශ්‍යතාවයක් තිබේනම් මෙකී දුරකථන අංක අමතා අවශ්‍යතාවය සඳහන් කර සහන ලබා ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙකී නියෝගයට පටහැනිව ක්‍රියාකරන්නන් හට නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කරන බවත්, නිශ්චල හෝ චංචල දෙපොළක් මුද්‍රා තැබීමට සහ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
එකී නිරෝධායනයට ලක් කොට ඇති එහෙත් COVID-19 රෝග ලක්ෂණ නොමැති අයවලුන් හට ඉතාම හදිසි අවස්ථාවක දී වෙනත් රෝගයන් සඳහා පමණක් රෝහලක් වෙත යා හැකි වේ. නමුත්, ඒ හැරෙන්නට නිවසේ පිටතට යාම හෝ එම නිවසට පිටස්තරයින් ඇතුළු වීම සිදු නොකළ යුතු වේ.
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 37 ක්, කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 05 ක්, කොළඹ ප්‍රදේශයේ පොලිස් වසම් 19 ක් සහ කළුතර ප්‍රදේශයේ පොලිස් වසම් 03 ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳිරිනිතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.
නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල සංචරණය සම්පුර්ණයෙන්ම සීමා කෙරෙන අතර එම ප්‍රදේශ වල යම් කිසි දැනුම් දීමකින් පසු කඩසාප්පු විවෘත කිරීමේ දී අවශ්‍යම කාරණාවකට හැරෙන්නට නිවසෙන් බැහැරව නොයන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.