කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් කථානායක නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්විණි.
මෙම රැස්වීමේදී පළමුව අදහස් දැක්වූ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවට එක්වූ සියලු සාමාජිකයන් ඉතා ගෞරවයෙන් පිළිගනිමින් ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියලුදෙනාට ආරාධනා කළේය.
අනතුරුව කථානායකවරයාගේ උපදෙස් පරිදි මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්රියාපටිපාටිය පැහැදිලි කළේය.
එහිදී ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදහස් පළ කළේය. පැයකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවේදී ඉදිරියේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයෝ එකඟත්වයකට පැමිණයහ.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස, අග්රාමාත්යවරයාගේ නියෝජිත අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, විපක්ෂ නායකවරයාගේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්ය මහ ලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්රධානී නීල් ඉද්දවල යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු සභාව ලබන නොවැම්බර් 10 වන දින පෙරවරු 10 ට යළි රැස්කිරීමට නියමිතය.