මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර - වසර 04ක් අවසන්වීමට පෙර නිවාස ඒකක 36,884ක්

    නොවැම්බර් 12, 2020

    කඩිනමින් වැඩ ඇරඹීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනපති ඇරයුම් ...
     නිවාස 15,000ක් මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ....
     වසර 04ක් අවසන්වීමට පෙර නිවාස ඒකක 36,884ක් ...

    දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දෙයි.


    නව තාක්ෂණය සහ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් නිර්මාණශීලි ලෙස සහ පරිසරය සුරැකෙන අයුරින් ඉදිකිරීම් කඩිනම් කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආයතන 10ක නිලධාරීන් සමග (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ දැනුම් දීම කළේය.

    ඉදිරි තෙවසර තුළ මධ්‍යම පාන්තිකයන් උදෙසා ඉදිකිරීමට අපේක්ෂිත නිවාස සංඛ්‍යාව 15,000කි. අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේ ද ඉල්ලුම සැපයෙන පරිදි සිව් වසරකදී නිවාස ඒකක 36,884ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.

    පෑලියගොඩ, කොළොන්නාව, බ්ලුමැන්ඩල්, කොට්ටාව - මාකුඹුර, කොට්ටාව - පළතුරුවත්ත, බොරලැස්ගමුව, මාළඹේ, මහනුවර - ගැටඹේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කර ගනිමින් පළමු අදියරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත දේශීය කර්මාන්තකරුවන්ට ඊට එක්වීමට අවස්ථාව සැලසේ. විධායක, ව්‍යවසායක සහ සියලු ක්ෂේත්‍රවල නිරත විශාල තරුණ පිරිසකගේ නිවාස ඉල්ලුම සපුරාලීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. ඒ සඳහා වසර 30කින් ගෙවා නිම කළ හැකි පරිදි සහන පොලී අනුපාතයකට ණය සැපයීමට වාණිජ බැංකු දායක කර ගැනේ.

    ඉදිකිරීම් ඇරඹීමත් සමග ඊට අවශ්‍ය භාණ්ඩ සම්පාදනය මගින් රැකියා අවස්ථා රැසක් උත්පාදනය වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් නොනැවති සියලු ක්‍රියාකාරකම් උපරිමයෙන් කරගෙන යාමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    සියලු වැඩබිම් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ක්‍රියාත්මක විය යුතුය. මේ ව්‍යාපෘති රටේ ආර්ථිකයට ද ශක්තියත් වනු ඇතැයි ජනාධිපතිතුමා අපේක්ෂාව පළ කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරු, නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහූ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් කිහිපයක නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya